දිට්වා හානිය ඩොලර් බිලියන 4.1ක් – ලෝකබැංකුව

නොවැම්බර් අගදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ගොඩනැගිලි සහ එහි අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය සහ තීරණාත්මක යටිතල පහසුකම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක සෘජු භෞතික හානියක් සිදුවී ඇති බව ලෝක බැංකු සමූහයේ ගෝලීය හදිසි පශ්චාත් ආපදා හානි ඇස්තමේන්තු වාර්තාවේ දැක්වෙනවා.

මෙම හානිය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 කට පමණ සමානයි. ශ්‍රී ලංකාවට මෑත ඉතිහාසයේ බලපෑ වඩාත්ම තීව්‍ර හා විනාශකාරී සුළි කුණාටුව වන දිට්වා, දිස්ත්‍රික්ක 25 පුරාම මිලියන 2 කට ආසන්න ජනතාවකට දැඩි ලෙස බලපෑ අතර, ජීවනෝපායන්, අත්‍යවශ්‍ය සේවා විනාශ කරනු ලැබුවා.
ලෝක බැංකු සමූහයේ ගෝලීය හදිසි පශ්චාත් ආපදා හානි ඇස්තමේන්තු වාර්තාවේ භෞතික වත්කම්වලට සෘජු ආර්ථික හානිය ඇස්තමේන්තු කර තිබෙනවා.

නමුත් ආදායමට හෝ නිෂ්පාදනයට අදාළ පාඩු හෝ ප්‍රතිසංස්කරණ සඳහා සම්පූර්ණ පිරිවැය වාර්තාවට ඇතුළත් වන්නේ නැහැ.

ලෝක බැංකු ඇස්තමේන්තුවට අනුව වැඩිම හානියක් සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට වන අතර එය ඩොලර් මිලියන 689 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

මාර්ග, පාලම්, දුම්රිය මාර්ග සහ ජල සැපයුම් ඇතුළු යටිතල පහසුකම් විශාලතම හානියක් සිදු වූ ක්ෂේත්‍රය වන අතර ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 1.735 ක් වන එය සමස්ත හාියෙන් සියයට 42ක්.

නේවාසික ගොඩනැගිලි සහ අන්තර්ගතයන් දැඩි ලෙස බලපා ඇති අතර, ඇස්තමේන්තුගත හානිය ඩොලර් මිලියන 985 ක් වනවා.

කෘෂිකර්මාන්තයට ඩොලර් මිලියන 814 ක හානියක් සිදුවී ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, වී සහ එළවළු භෝග, යැපුම් ගොවිතැන, බඩ ඉරිඟු, පශු සම්පත් සහ කෘෂිකාර්මික යටිතල පහසුකම් මෙන්ම අභ්‍යන්තර ධීවර කටයුතුවලට හානි සිදුවී ඇතැයි පෙන්වා දෙන ලෝක බැංකුව අනතුරු අඟවන්නේ් එමඟින් දැනටමත් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ ආහාර සුරක්ෂිතතාවයට සහ ග්‍රාමීය ජීවනෝපායන්ට බරපතල අවදානම් ඇති වනු ඇති බවයි.

ප්‍රධාන ගංගා සහ ඇළ දොළ ආශ්‍රිතව පිහිටා ඇති පාසල්, සෞඛ්‍ය පහසුකම්, ව්‍යාපාර සහ විශාල කාර්මික පහසුකම් සහ කර්මාන්තශාලා වැනි නේවාසික නොවන ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 562 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

Share