මාලිමා මන්ත්‍රී පහර දුන් බව කියූ කොස්තාපල්ගේ රුධිර සාම්පල අද රජයේ රස පරීක්ෂකට

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පහර දුන් බව පවසමින් රෝහල්ගත ව සිටින පොලිස් කොස්තාපල්වරයාගේ වෛද්‍ය වාර්තාවේ ප්‍රශ්වාස වාතයේ ඇල්කොහොල් ගඳ වහනය වන බව සටහන්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
නිලධාරියාගේ මුත්‍රා සාම්පල්වල මත්ද්‍රව්‍ය සාන්ද්‍රන්‍ය නොමැති බැවින් රුධිරයේ සාම්පල් ලබා ගෙන මත්පැන් භාවිත කර සිට ඇද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත පද්ම කුමාර මහතාගේ මාමණ්ඩියට අයත් බව කියන ඉඩමක තිබී ගංජා වගාවක් වැටලු සූරියකන්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩාය‍මේ කොස්තාපල්වරයෙකු පසුගිය සෙනසුරාදා රෝහල්ගත ව තිබුණේ අදාළ මන්ත්‍රිවරයා තමන්ට පහරදුන් බව පවසමින්.
පොලිස් කොස්තාපල්වරයා කොළොන්න මූලික රෝහලෙන් පසුව ඇඹිලිපිටිය මහ රෝහල‌ට මාරු කර යැවුණා.
කොස්තාපල්වරයා සඳහන් කළේ රාජකාරිය නිමවා යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටියදී පිරිසක් සමඟ කැබ් රථයකින් පැමිණි මන්ත්‍රිවරයා තමන්ට පහර දුන් බවයි. කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත පද්මකුමාර මහතා සඳහන් කළේ අදාළ කොස්තාපල්වරයා තමන්ට පහර දුන් බවයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ පසුගිය 20 වැනිදා රාත්‍රී 8.40ට පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් තමන්ට පහරදුන් බවට සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.
එදිනම රාත්‍රි 10.10ට පමණ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත පද්මකුමාර මහතා ද පොලිස් කොස්තාපල්වරයෙක් තම කැබ් රථය අවහිර කර පහරදීමට තැත් කළ බවට කොලොන්න පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතැයි අදාළ නිවේදනයේ සඳහන්.
පොලිස් කොස්තාපල්වරයාගේ යතුරුපැදිය කළුගල පන්සල අසල මාර්ගයේ තිබී කොළොන්න පොලිස් භාරයට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
ක‍ොස්තාපල්වරයා මුළින් ප්‍රතිකාර සඳහා ඇතුළත් වූ කොළොන්න රෝහලේ රෝගී කාර්ය සටහන් වාර්තාවේ කොස්තාපල්වරයාගේ ප්‍රශ්වාත වාතයේ ඇල්කොහෝල ගඳ වාහනය වන බවට සටහන්ව ඇතැයි ද පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එහි දැක්වුණේ නිලධාරියාගේ මුත්‍රා සාම්පල්වල මත්ද්‍රව්‍ය සාන්ද්‍රන්‍ය නොමැති බැවින් රුධිරයේ සාම්පල් ලබා ගෙන මත්පැන් භාවිත කර සිට ඇද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.
මෙම පහරදීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව රැසක් අදහස් පල කළා.

Share