2026 වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 2ක, විදෙස් ආයෝජන ඉලක්කයක් සපුරාගැනීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ නිට්ටඹුව, වතුපිටිවල, ප්‍රදේශයේ ආරම්භ කළ නව කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම ප්‍රධාන වශයෙන්, සංචාරක කර්මාන්තය, විදේශ ආයෝජන, අපනයන සහ විදේශ ප්‍රේෂණ මත රඳා පවතිනවා.
ව්ම විදේශ ආයෝජන වැදගත් වන්නේ එය ආර්ථිකය සක්‍රීය කරන බැවින් සහ යතාවත් කරන බැවිනුයි.
ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනයේ සහ විදේශ ආයෝජන ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නිට්ටඹුව, වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේදී ෂීල්ඩ් රෙස්ට්‍රේන්ට් සිස්ටම්ස් කර්මාන්ත ශාලාව විවෘත කෙරුණා.
අමෙරිකානු සමාගමක් වන TransDigm සමූහය, ෂීල්ඩ් සිස්ටම්ස්හි මව් ශාඛාවයි.
එහි අනුබද්ධිත ආයතනයක් වන ඇම්සේෆ් පුද්ගලික සමාගම විසින්, ෂීල්ඩ් සිස්ටම්ස් නව ආයෝජනය මෙරටට ගෙන ඒමෙහිලා පුරෝගාමීත්වය දරනවා.
කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්සත් ජනපද වෙළෙඳ දෙපාර්තමේන්තුවේ වෙළෙඳ නිලධාරී කේරි අරුන් ප්‍රින්සිපල්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික සහ වෙළෙඳ නිලධාරී ඩැනියෙල් ජැක්සන්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ඇමරිකානු ඩොලර් මිලියන 8.5 ක මූලික ආයෝජනයකින් ආරම්භ කෙරුණු ෂීල්ඩ් රෙස්ට්‍රේන්ට් සිස්ටම්ස් නව කර්මාන්ත ශාලාව තුළින් සෘජු හා වක්‍ර ලෙස රැකියා අවස්ථා 500කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීම තුළින් එය රටේ තරුණ ප්‍රජාව ශ්‍රම බලකායට එක්කරගැනීමට මාවතක්ද නිර්මාණය කර තිබෙනවා.
දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් සිය නිෂ්පාදනයන් ඉහළ ගුණාත්මක බවින් සහතික කිරීම ආයතනයේ අරමුණයි.
නව තාක්ෂණයෙන් සන්නද්ධ අති නවීන යන්ත්‍ර සූත්‍රවලින් සමන්විත වර්ග අඩි 100,000ක භූමි ප්‍රමාණයකින් යුත් නව කර්මාන්ත ශාලාවේ, ළමා ආරක්ෂිත ආසන, වාණිජ වාහන, ඉදිකිරීම් සහ කෘෂිකාර්මික උපකරණ සඳහා පුළුල් පරාසයක ආරක්ෂිත උපකරණ නිෂ්පාදනය සිදුකරනවා.
මෙම කර්මාන්ත ශාලාවෙන් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 50 ක පමණ ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවයි ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා සඳහන් කළේ.





