‘Rebuilding Sri Lanka’ අරමුදල මේ වනවිට රුපියල් බිලියන 4 ක් ඉක්මව‍‍යි

පසුගිය මස අග දී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් රට නැවත යථා තත්ත්වයට පත් කිරිමේ අරමුණින් ඇරඹුනු ‘Rebuilding Sri Lanka’ අරමුදල මේ වනවිට රුපියල් බිලියන 4 ක් ඉක්මවා ගොස් තිබෙනවා.
මෙම මුදලන් රුපියල් මිලියන 4,263ක් දේශීය ව්‍යාපාරිකයින් හරහා ලැබී ඇති අතර ඉතිරි මුදල ඍජු විදේශ මුදල් තැන්පතු හරහා ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට Rebuilding Sri Lanka’ අරමුදල ට රුපියල් මිලියන 4,286ක් ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.
එමෙන්ම මෙම අරමුදල සඳහා ලැබි ඇති සෘජු විදෙස් තැන්පතුවල වටිනාකම රුපියල් මිලියන 23ට අධිකයි.
අරමුදල ට රටවල් 43කින් ආධාර මුදල් ලැබී ඇති බවයි
මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර Rebuilding ශ්‍රී ලංකා අරමුදලට ඉන්දියාවේ මහින්ද්‍රා සමාගම විසින් රුපියල් මිලියන සියයක මුදල් පරිත්‍යාගයක් සිදු කළා.
මහින්ද්‍රා සමාගමේ මෙරට ප්‍රධානී සුජිත් ජයන්ත්, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝශ් ජා යන මහත්වරුන් විසින් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත මෙම පරිත්‍යාග කළා.

මීට අමතරව ජපානයේ ( Asunaro Aoki Construction Co Ltd ) වෙතින් ජපන් යෙන් මුදලින් මිලියනයක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර නු ලැබුවා.
ඊට අදාළ චෙක්පත Asunaro Aoki Construction Co Ltd හි සාමාන්‍යාධිකාරි Seiji Sakuraike මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා වෙත පිරිනමනු ලැබුවා.

මෙරට පාරිභෝගික ජනතාව අතර ජනප්‍රිය සන්නාමයක් වන CBL සමූහ ව්‍යාපාරය විසින් ද රුපියල් මිලියන 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
ඊට අදාළ චෙක්පත CBL සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ ආර්. වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

මේ අතර හදිසි ආපදා තත්ත්වයෙන් හානි වූ ප්‍රදේශ සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල සඳහා ජපානයේ නොරිටාකේ සමාගම විසින් රුපියල් මිලියන 20ක මූල්‍ය ප්‍රදානයක් සිදු කරනු ලැබුවා
​ඊට අදාළ චෙක්පත නොරිටකේ ලංකා පෝසිලේන් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔබාරා මහතා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත ප්‍රදානය කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

Share