මහනුවර රජපිහිල්ල මාවතේ නායයාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
මහනුවර බෝගම්බර වැවට උඩින් පිහිටා ඇති රජපිහිල්ල මාවතේ ස්ථාන කීපයකම මෙලෙස නායයාමේ අවදානමක් පවතින බවයි මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසුවේ.
මේ හේතුව නිසා රජ පිහිල්ල මාවතට පහළින් සංඝරාජ මාවතේ ඇති මහාමායා බාළිකා විදුහලද තාවකාලිකව දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවයි ඔහු පැවසුවේ.
මේ වන විටත් රජපිහිල්ල මාවතේ නාය යාමේ අවදානම පවතින ස්ථාන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූවිද්‍යාඥයන් විසින් පරීක්ෂා කරමින් සිටින බවද පැවසූ සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ එම මාර්ගයේ ගස් කඩා වැටීම් සහ කුඩා පස් කඳු කඩා වැටීමේ අවදානමක් ද පවතින බවයි.
කෙසේ වෙතත් දැඩි අවදානම් තත්ත්වයේ පවතින ස්ථාන වලින් ආරක්ෂාකාරී පියවරක් ලෙස තාවකාලිකව ඉවත්ව සිටීම වඩාත් සුදුසු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
දැනට මහනුවර වැව රවුම පාරේ සහ සංඝරාජ මාවතේ වාහන ගමනා ගමනයට බාධාවක් නැති නමුත් ප්‍රදේශයට අඛණ්ඩව අධික වැසි ඇද හැළෙමින් පවතින බැවින් අවදානම් තත්ත්වයේ ටීව්ර වීමක් විය හැකි බවටත් දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂකවරයා අනතුරු අඟවනවා.
මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් මහමායා බාලිකා විද්යාලව භූමිය ඉරිතලා ඇති අයුරු දැක ගන්නට පුළුවන්.
එමෙන්ම පාසල් භූමිය ඇතුළේ මාර්ග වලද, ඇතැම් තාප්පවලද පුපුරා ගිය ස්ථාන දක්නට ඇත්තේ යම් ගිලා බැසීමක සැකයක්ද මතුකරමින්.





