සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කතානායක අශෝක රංවල මහතා ගමන් ගත් ජිප් රථය අනතුරට ලක්වීමේ සිද්ධියේදී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ ඒ සම්බන්ධයෙන් පැවති විශේෂ විමර්ශනයේ දී මේ තත්ත්වය නිරික්ෂණය වූ බවයි.
ඒ අනුව එම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිතුමා උපදෙස් ලබා දී ඇති බවට යි එම නිවේදනයේ දැක්වෙන්නේ.
සපුගස්කන්ද, දෙණිමුල්ල ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී , හිටපු කථානායක අශෝක රංවල මහතා ගමන් ගත් ජිප් රථය යතුරු පැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් පසුගිය 11 වැනිදා පස්වරු 7.45 ට පමණ අනතුරක් සිදුවුණා.
අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කුඩා දරුවකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබුවා.
පසුව මන්ත්‍රීවරයාද රෝහල් ගත වි තිබූ අතර පසුදින දහවල් අනතුර සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැණුනේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
අනතුරක් වළක්වා නොගැනීම සහ අනතුරුදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ.
අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරිනු ලැබුවා.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර සිටියේද යන්න පරික්ෂාවට ළක් කර තිබුණේ නැහැ.
ඒ සම්බන්ධයෙන් 12 වැනිදා පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඒ වන විට මන්ත්‍රීවරයාගේ රුධිර සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවයි.
එම වාර්තාව ලද විගස ඉදිරි නෛතික කටයුතු සිදුකරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ වෙතත් මෙම සිද්ධියේදී මන්ත්‍රීවරයාට සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් නිසි පරිදි නිතිය ඉටු කළේද යන්න සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වුණා.
මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද ප්‍රශ්න කෙරුණා.
කෙසේ වෙතත් පසුව මෙම රිය අනතුර සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් නිසි ලෙස රාජකාරී ඉටු කර ඇත්ද යන්න සොයා බැලීම සඳහා පොලිස්පත්වරයාගේ උපදෙස් පරිදි විමර්ශනයක් ආරම්භ කළා.
එම විමර්ශනයේදී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් රාජකාරී පැහැර හැරිමක් සිදු කර ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
ඒ අනුව එම නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මුලික විමර්ශනයක් ආරම්භ කර ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිතුමා උපදෙස් ලබා දී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.





