ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලු ඖෂධ අත්හිටුවයි

මතභේදාත්මක ඔන්ඩැන්සෙට්‍රෝන් ඖෂධ එන්නත නිෂ්පාදනය කර මෙරටටට ආනයනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගමේන් මෙරටට ගෙන්වා ඇති තවත් ඖෂධ වර්ග 10ක් මෙරට රෝහල් තුළ භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය අදාළ ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමේ මෙරට නියෝජිතයා වන PTC මෙඩිකල් ප්‍රයිවට් ලිමිටඩ් වෙත දැනුම් දී ඇත්තේ අදාළ ඖෂධ වර්ග 10 ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුවූ ගැටලු හේතුවෙන් එම ඖෂධ වර්ග 10 ද තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරන බවයි.

ඔන්ඩන්සෙට්රෝන් යනු ශල්‍යකර්මවලට යොමු කෙරෙන රෝගීන්ට නිර්වින්දන ක්‍රියාවලිය තුළ ඇතිවන වමනය, ඔක්කාරය වැනි අතුරු ආබාධ වැළැක්වීම සඳහා ලබාදෙන ඖෂධයක්
මෙම ඖෂධ ඛාණ්ඩයේ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගමෙන් ආනයනය කළ ඖෂධ එන්නතක් ලබාදීමෙන් පසු මහනුවර ජාතික රෝහලේ රෝගියෙකුට සංකූලතා මතුවීමෙන් පසු මෙම ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැකයක් මතුවුණා.
ඒ් අනුව අදාළ එන්නත සම්බනධයෙන් මහනුවර ජාතික රෝහල කළ මූලික පරීක්ෂණයකදී එම එන්නතේ ඇතැම් ඛාණ්ඩ තුළ විෂබීජ අඩංගු බව අනාවරණය වුනා.
මේ අතර කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත්ව සිටියදී මියගිය කාන්තාවන් දෙදෙනෙකුට ද ප්‍රතිකාර අතරතුර මෙම එන්නත් ලබා දුන් බවටත් ඒ් අනුව ඔවුන්ගේ මරණයට මෙම එන්නතේ සම්බන්ධයක් ඇත්ද යන්න සම්බන්ධයෙනුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් සංවාදයක් ඉස්මතු වුණා.
ඒ අතරයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය වහා ක්‍රියාත්මක වී අදාළ ඖෂධයේ ඛාණ්ඩ 04ක් මෙරට රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට පසුගිය දා නියෝග කර තිබුණේ.
ඒ් සමගම එම එන්නත ලබාදීමේන පසු මියගිය රෝගීන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් පූර්ණ පරෟක්ෂණයක් පැවැත්වීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.
ඊයේ පස්වරුවේ ජාතික ඖෂධ නියාමන අධීකාරිය ඔන්ඩැන්සෙට්‍රෝන් ඖෂධ එන්නත නිපදවූ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගමේන් මෙරටට ගෙන්වූ තවත් ඖෂධ වර්ග 10ක් රෝහල්වල භාවිතයෙන් ඉවත් කරන ලෙස උපදෙස් නිකුත් කර තිබුණේ මේ අතරතුරයි.

Share