ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළ නියෝගයට එරෙහිව ගොනු කළ පෙත්සම සමතයකට පත් කර ගත හැකි බව දෙපාර්ශ්වයේ නීතිඥයින් අද අභියාචානාධිකරණයට දැනුම් දුන්නා.
විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත් කිරීමේ නියෝගය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කර ගැනීම ඊට හේතුවයි.
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරස්ථාන භූමියේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමඟ එහි නොසන්සුන්තාවක් හටගත්තේ පසුගිය නොවැම්බර් 16 වැනිදායි.
එවන් පසුබිමක විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත් කිරීම වලක්වන නියෝගයක් ඉල්ලා විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්යාන වංශතිස්ස හිමියන් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
එම පෙත්සම ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.
සිය විහාරස්ථානයට සම්බන්ධ කොටසක් කඩා ඉවත් කිරීම සඳහා නිකුත් කළ නියෝග ඉවත් කර ගැනීමට වග උත්තරකරුවන් එකඟතාවය පළ කර ඇතැයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි මහතා අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව අනුමත සීමාවට අනුකූළව කටයුතු කිරීමට පෙත්සම්කරු එකඟතාවය පළ කර තිබෙන බවත් සඳහන් කළා.
එබැවින් මෙම නඩුකරය සමථයට පත්කර ගැනීමට හැකියාව තිබෙන බව ද ඔහු අධිකරණයට දැනුම් දුන්නා.
මෙම කරුණ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතාද අනුමත කරමින් කරුණු දැක්වුවා.
මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා මෙම පෙත්සම පෙබරවාරි මස 20 වැනි දා කැඳවන ලෙස නියෝග කළ අභියාචනාධිකරණය එදින මෙම නඩුකරය සමථයට පත්කර ගැනීම සඳහා ගෙන තිබෙන පියවරවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස නියෝග කළා.





