ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් අඟහරුවාදා බොන්ඩායි වෙරළ තීරයේ වෙඩි තැබීමේ සිද්ධියේ දී වීරයෙක් වූ අහමඩ් අල් අහමඩ්ගේ සුවදුක් විමසීමට ඔහු ප්‍රතිකාර ලබන රෝහලට අද පැමිණියා.
තුවක්කුකරුවෙකුට මුහුණ දීමේදී ඔහු දැක්වූ අසාමාන්‍ය නිර්භීතකම අගය කරමින්, X හි ඔහුගේ රෝහල් සංචාරයේ ඡායාරූපයක් බෙදා ගනිමින්, ඇල්බනීස්, අන් අයව බේරා ගැනීමට අනතුර දෙසට දිව ගිය “ඕස්ට්‍රේලියානු වීරයෙකු” ලෙස ඔහුව හැඳින්වූවා.
බොන්ඩායි වෙරළ තීරයේ යුදෙව් ආගමික උත්සවයකට ඉරිදා පස්වරුවේ තුවක්කුකරුවන් දෙදෙනෙක් වෙඩි තැබුවා.
එහිදී අහමඩ් එක් වෙඩික්කරුවෙක් සමග පොර බදා ගිනි අවිය උදුරා ගන්නා දර්ශන පෙළ ලොව පුරා මහත් පැසසුමට ලක් වුණා.
කෙසේ වෙතත් ඔහුට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබුණා.
2006 දී ඕස්ට්‍රේලියාවට පැමිණි සිරියාවේ උපන් මුස්ලිම්වරයෙකු වන අහමඩ්ට 2022 දී පුරවැසිභාවය පිරිනමා තිබෙනවා.
ඔහුගේ වීරත්වය පුලුල් මහජන සහයෝගයක් නිර්මාණය කර ඇති අතර ඔහු වෙනුවෙන් ආරම්භ කළ අරමුදලකට මේ වන විට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක් පමණ එකතු වී ඇතැයි සඳහන්.
මේ අතර, අලු බඳුන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරක්ෂක විධි විධාන දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ මොහොතේ ඉහළ අවදානම් තත්ත්වයක් පවතින බවට බුද්ධි තොරතුරු නොමැති බවද එරට බලධාරීන් අවධාරණය කළා.





