ගම්පොළ- නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කටුකිතුල ප්‍රදේශයෙන් මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රාත්‍රි කාලයේ රථවාහන ධාවනය නොකරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර දැනට හානි වී ඇති මාර්ග රථ වාහන ධාවනය සදහා එක් මංතීරුවක් හෝ විවෘත කර අඩාල වූ ජන ජීවිතය යථා තත්වයට පත් කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවා.
මහනුවර නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නායයෑමට ලක් වූ රම්බොඩ, කටුකිතුල, ගැරඩිඇල්ල, ලබුකැලේ යන ප්‍රදේශවල ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා නිරික්ෂණ චාරිකාවකට එක් වුණා.
එහි දි අමාත්‍යවරයා කියා සිටියේ දැනට හානි වී ඇති මාර්ග වාහන ධාවනය සදහා එක් මන්තීරුවක් විවෘත කර ඇති බවත්, ඒ තුලින් අඩාල වූ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්වයට පත් කල හැකි බවයි.
මේ අතර ආපදා තත්ත්වය මත වසා දමා ඇති හක්ගල උද්භිත උද්‍යානය ඉතා කඩිනමින් විවෘත කර ගැනීමට අදාළ පියවර ගැනීම සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා හක්ගල උද්භිත උද්‍යානයේ නිරීක්ෂණයකට එක් වුණා.
පවතින නාය යාම් තත්වය පිළිබඳ සලකා බලා භූ ස්ථාවර කිරීමට අදාළ කෙටි කාලීන සහ දිගුකාලීන පියවර ගනිමින් නැවත හක්ගල උද්භිත උද්‍යානය ආරම්භ කිරීම සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නිළධාරීන් වෙත උපදෙස් ලබා දි තිබෙනවා.
මේ අතර පැවැති අයහපත් කාළගුණත් සමග ඇති වූ ගංවතුරට හසුවි දුම්රිය ගමන් කිරිමට නොහැකි තත්වයට පත්ව ඇති පේරාදෙණිය මහවැලි ගඟ හරහා ඉදිකර තිබු කළු පාලම දුම්රිය දෙපාර්ථමේන්තුවේ නඩත්තු ඒකකය මගින් පිලිසකර කටයුතු ආරම්භ කර තිබෙනවා.
දුම්රිය නඩත්තු අංශයේ නිළධාරියෙක් පවසා සිටියේ සුන්බුන් ඉවත්කිරිමෙන් පසු පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ මාහාචාර්‍යවරුන්ගේ ද සහය ඇතිව ඉදිරි පිලිසකර කිරිම් සිදු කරන බවයි.
මේ අතර රාත්‍රි කාලයේ නුවරඑලියට පිවිසෙන කිසිදු මාර්ගයක රථවාහන ධාවනය නොකරන ලෙසට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
දිස්ත්‍රික් ලේකම්වරිය සදහන් කරන්නේ වාහන ධාවනයට විවෘත කරන ලද ගම්පොළ නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කටුකිතුල ප්‍රදේශියේදි ආපසු ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටි ඇති බවත්, පවත්නා කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස් කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසාත් එම තීරණය ගත් බවයි.





