සපුගස්කන්ද දෙණිමුල්ල ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අශෝක රන්වල මහතා සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ අන්තරාදායක රිය පැදවීම හා අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා මතයි.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි
මෙම අනතුරෙන් අනෙක් මෝටර් රථයේ ගමන් කළ 6 මසැති බිළිඳෙකු මේ වනවිට ළමා රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම බිළිඳාගේ මව සහ මිත්තණිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සපුගස්කන්ද – හෙයියන්තුඩුව – දෙණිමුල්ල හන්දිය ආසන්නයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූ ජිප් රථය අනතුරට ලක්ව ඇත්තේ ඊයේ පස්වරු 7.45ට පමණයි.
පවර්හවුස් හන්දියේ සිට ගල්වල හන්දිය දෙසට ධාවනය කරමින් සිටියදී ඔහු පැදවූ ජිප් රථය ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක ගැටී ඇති අතර, අනතුරුව එය දකුණට ධාවනය වී ඉදිරියෙන් පැමිණි කුඩා මෝටර් රථයක මුහුණට මුහුණලා ගැටී ඇති බවයි පැවසෙන්නේ.
මෙම අනතුරෙන් මෝටර් රථයෙන් ගමන්ගත් 25 හැවිරිදි කාන්තාවක් මාස 6ක් වයසැති අැගේ බිළිඳා සහ 51 හැවිරිදි එම කාන්තාවගේ මව තුවාල ලබා තිබෙනවා.
ඔවුන් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලටත් 6 මසැති බිළිඳා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටත් මාරු කර යැවුණා.
ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂිත සේනාපති මහතා සඳහන් කළේ බිළිඳා පරීක්ෂණ කිහිපයකට යොමු කර ඇති අතර දරුවාගේ තත්ත්වය බරපතල නොවන බවයි.
බිළිඳා මේ වනවිට ළමා රෝහලේ ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.
කෙසේ වෙතත්, ඊයේ පස්වරු 7.45ට පමණ මෙම අනතුර සිදුවුව ද, අනතුර සිදුකළ බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා රෝහල් ගත වී ඇත්තේ අද අලුයම් කාලයේදීයි.
එම අවස්ථාවේදී තුවාල ලැබූවන්ගේ ඥාතීන් ඒ මහතාට චෝදනා එල්ල කළා.
අනතුරෙන් තුවාල ලැබූ බිළිඳාගේ පියා පවසන්නේ රෝහලට පැමිණි මන්ත්‍රීවරයා තමන්ට කණගාටුව ප්‍රකාශ කළ බවයි.
මේ අතර, තුවාල ලැබූ 25 හැවිරිදි බිළිඳාගේ මව සහ 51 හැවිරිදි ඇගේ මව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
ඊයේ රාත්‍රියේම අනතුර සිදුකළ මන්ත්‍රීවරයා පැදවූ ජිප් රථය මෙන්ම අනතුරට ලක් වූ මෝටර් රථය හා යතුරුපැදිය ද සපුගස්කන්ද පොලිසිය වෙත රැගෙන ආවා.
කෙසේ වෙතත් මෙම අනතුරෙන් මෝටර් රථ රියදුරාට මෙන්ම යතුරුපැදිකරුට ද තුවාල සිදුවී නැහැ.
කෙසේ වෙතත්, ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අද පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අන්තරාදායක රිය පැදවීම හා අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා යටතේයි.
කෙසේ වෙතත් අනතුරට පත් වූ බිළිඳාගේ පියා සහ අවට සිටියවුන් අනතුර සිදුවන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා බීමතින් සිටි බවට චෝදනා කළ ද පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමේදී බීමතින් රිය පැදවීමේ චෝදනා ගොනුකර නැහැ.
ඔහු මේ වනවිට පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ රැකවල් මැද ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මේ අතර, අනතුර සම්බන්ධයෙන් පොලිසිය නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකල බවට චෝදනා කරමින් සමගි ජනබලවේගයේ නීතිඥ සංගමය අද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.





