ආපදාවේ තරම

ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් සහ ඉන් පසු ඇති වූ ගංවතුරෙන් මිලියන 2.3ක ජනතාවක් පීඩාවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනාවරණය කරනවා.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව භූගෝලීය විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙන්නේ සුළි කුණාටුවෙන් පසු ඇති වූ ඇති වූ ගංවතුර, රටේ භූමි ප්‍රමාණයෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් යටකර එහි පිහිටි නිවාස, යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවාවන්ට සැලකිය යුතු හානියක් සිදු කර ඇති බවයි.

ශ්‍රී ලංකා රජයේ ආපදා සම්බන්ධ දත්ත මත පදනම්ව විශ්ලේෂණයක් ගෙන එමින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙන්නේ, මෙය දශක ගණනාවකට පසු ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ගංවතුර ව්‍යසනය බවයි.
ගංවතුරට ලක් වූ ප්‍රදේශවල ජනතාවගෙන් අඩකට වඩා ජීවත් වූයේ අස්ථාවර ආදායම් සහිතව, ණයගැති භාවයෙන් පීඩා විඳමින් බව පෙන්වා දෙන අදාළ වාර්තාව සුළි කුණාටුවට පෙරත් ඔවුන් වාසය කළේ ආපදාවන්ට මුහුණ දීමේ සීමිත හැකියාවක් සහිත බහු අවදානම් නිවාසවල බවත්, පැවති තත්ත්වය යටතේ, මධ්‍යස්ථ කම්පනක් පවා ඔවුන්ට දිගුකාලීන පසුබෑමක් ඇති කරන බවත් පෙන්වා දෙනවා.
ගංවතුර ගොඩනැගිලි 720,000කට ආසන්න ප්‍රමාණයකට ළඟා වූ අතර, එය සමස්තයක් ලෙස රටේ සෑම ගොඩනැගිලි දොළහකින් එකක් ජලයෙන් යටවීමක්.
දිවයිනේ කිලෝමීටර් 16,000 කට වඩා දිගු මහා මාර්ග, ගංවතුරින් විනාශ වූ බවත් ඒ හා සමානව, කිලෝමීටර් 278 කට වැඩි දුම්රිය මාර්ග සහ පාලම් 480 ක් ගංවතුරට ලක් වූ ප්‍රදේශවල පිහිටා තිබුණු බවත් වාර්තාවේ සඳහන්.
එසේම ආපදාවට මුහුණදුන් ජනගහනයට ආසන්න වශයෙන් කාන්තාවන් මිලියන 1.2 ක්, ළමුන් 522,000 ක් සහ වැඩිහිටියන් 263,000 ක් ඇතුළත්.
ආපදාවට පත් පිරිසෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වනවා.
එසේම රට පුරා ආපදාවේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල වාසය කරන බොහෝ දෙනෙක් අධි අවදානම් සහ ආපදා-අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන බවත් එම තත්ත්වයට ස්ථිර විසඳුමක් අවශ්‍ය බවත් වාර්තාවෙන් පෙන්වා දෙනවා.
මෙම ඉහළ අවදානම් සාධකය ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීමට සහ මිල අධික වීමට හේතුවන බවත් ඒ් සඳහා මුල් පියවර තැබීම ඉතා වැදගත් බවත් ශ්‍රි ලංකාව පිළිබඳ මෙම වාර්තාව ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා සඳහන් කර තිබුණා
සුළි කුණාටුව හේතුවෙන් රටේ කඳුකරයේ නායයෑම් 1,200 ක් පමණ සිදුව ඇති බවත්, එයින් සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවාවන්ට පවා එම ප්‍රදේශවලට ප්‍රවේශය කඩාකප්පල් කර, ගලවා ගැනීමේ මෙහෙයුම් මන්දගාමී කර ඇති බව පෙන්වා දෙන වාර්තාව එය අවදානම් සහිත ප්‍රදේශවල ප්‍රජාව හුදකලා කිරීමට හේතුවිය හැකි බව ද පෙන්වා දී තිබෙනවා.
මෙම වාර්තාව ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජිතයින් ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකාව මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් මන්දගාමී නමුත් ස්ථාවර ප්‍රකෘතියක් පෙන්වමින් නැගී සිටියදී ශ්‍රි ලංකාවට මුහුණපෑමට සිදුවූ මෙම දැවැන්ත ස්වාභාවික ව්‍යසනයෙන් ‌ගොඩ ඒ්මේ පිරිවැය පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ණය බරක් දැරීමට නොහැකි බවයි.
මේ අවස්ථාවේ ශ්‍රි ලංකාවට ණය උගුලෙන් නිදහස්ව වේගවත් ප්‍රකෘතියක් සහ වැඩි ඔරොත්තු දීමේ හැකියාවකින් යුතුව නැවත ගොඩනැගීමට හැකි වෙන්නේ එක්සත් ජාතීන්ගේ ආයතනවල සහය සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ ආධාරයෙන් පමණක් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජිතයින් පෙන්වා දෙනවා.

Share