දිවයිනේ බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් තවදුරටත් පුද්ගලයින් 190ක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරු නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
එමෙන්ම මෙම ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් පුද්ගලයින් ගණන 2,179,138ක්.
ඉන් පවුල් 27,663ක අයත් පුද්ගලයින් 89,857ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථාන 956ක් රැඳී සිටිනවා.
මේ අතර සිදුව ඇති මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම ගණන 232ක් වන අතර අතුරුදහන්ව ඇති සංඛ්‍යාව 81ක්.
මේ අතර දි බලපෑමට ලක්වු නිවාස හානි තක්සේරු කිරීම අද සිට ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය පවසනවා.
මෙම තක්සේරු කිරීම් සිදුවන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පිහිටුවනු ලැබූ කමිටුවක් මගින්.
මේ අතර දැඩි ලෙස නාය යෑමට ලක්වූ වත්තේගම ප්‍රාදේශිය රෝහල තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.
ප්‍රවේශ මාර්ග පවා අවහිර වී ඇති අතර රෝහල් පරිශ්‍රය ද දැඩි ලෙස නාය යෑමට ලක්ව තිබෙනවා.
පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් වත්තේගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දමා එම රෝහලේ කොටසක් පාතදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තුළ ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළා.
මේ අතර කඩුගන්නාව ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය අද අලුයම 4.00 සිට සියලුම වාහන සඳහා පැය 24 පුරාම විවෘතව තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කළා.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට පිවිසෙන සියලුම මාර්ග මේ වන විට විවෘත කර තිබෙනවා.
කෙසේ වෙතත් නුවරඑළිය – නුවර ප්‍රධාන මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු සිදු කරමින් පවතින අතර එය විවෘත කිරිමට තව දින කිහිපයක් ගතවනු ඇතැයි සඳහන්.
මේ අතර හානි වූ කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩාඔය සහ නාත්තන්ඩිය අතර දුම්රිය මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර වලහපිටිය උප දුම්රිය මාර්ගයද පිළිසකර කරමින් පවතිනවා.
ආපදා හේතුවෙන් මානසික පීඩන තත්ත්වයන් මතුව ඇත්නම් ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකතන අංකය අමතා අවශ්‍ය උපදේශන ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබෙනවා.
මේ අතර දිවයිනේ සියලුම ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය ජල මට්ටමක් කරා පැමිණෙමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ මිනුම් මධ්‍යස්ථානවල දත්ත අනුව කිසිදු ජලාශයක ගංවතුර මට්ටමක් කරා තවදුරටත් නොපවතින බවයි
එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් ප්‍රධාන ජලාශ කිහිපයක් ආශ්‍රිතව වාර්තා වී ඇති බවද ඔහු සදහන් කළා.
කෙසේ වෙතත් රාජාංගනය, දැදුරු ඔය, නාච්චදූව, සේනානායක සමුද්‍රය, වෙහෙරගල සහ ලුණුගම්වෙහෙර ඇතුලු ප්‍රධාන ජලාශ 30 වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබෙනවා.
මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට විදේශයන්ගෙන් පරිත්‍යාග කරන ලද භාණ්ඩ නිෂ්කාශනය කිරීම කඩිනම් කිරීම සඳහා අතුරු පියවරක් ලෙස, කිරිපිටි ඇතුළු අයිතම 76ක ආනයන හා අපනයන පාලන රෙගුලාසි ලිහිල් කර තිබෙනවා.
ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරය යටතේ ඕනෑම විදේශීය රාජ්‍යයකින්, සංවිධානවලින් හෝ පුද්ගලයන්ගෙන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාග ලෙස ලැබෙන ආනයනික භාණ්ඩ අදාළ රෙගුලාසිවලින් නිදහස් කරනු ඇති.
මේ අතර ඌව පරණගම මස්පන්න නගරය දී පස්කඳු වලට යට වූ රථ වාහන රැසක් යළි ගොඩ ගැනිමට නොහැකි වී ඇති බව ජනතාව පවසනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ ගෙලිඔය , වැලිගල්ල , දවුලගල , කුලුගම්මන , පේරාදෙණිය, උඩුනුවර ආදී ප්‍රදේශවලට ජලය සැපයූ නිල්ලඹ ජල යෝජනා ක්‍රමයේ දැඩි ලෙස අලාභහානියට පත් ජල නල යතාතත්වයට පත් කිරිම මේ වනවිටත් සිදුවනවා.
ගංවතුර හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කුකුළන් 4000ක්, ගවයන් 400ක්, එළුවන් 400ක් මිය ගොස් ඇති බව පශු සම්පත් සංවර්ධන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. එම්. අබ්දුල් හාදි මහතා සදහන් කළා





