විගණකාධිපති පුරප්පාඩුව පිරවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා අවශ්‍ය අවම ඡන්ද සංඛ්‍යාව නොලැබීම හේතුවෙන් නව විගණකාධිපතිවරයකු පත් කිරීම තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා
ජනාධිපතිවරයා මෙවර ද නමක් යෝජනා කර ඇත්තේ වැඩ බලන විගණකාධිපතිවරයෙක් පත්කිරීම සඳහා වීම විශේෂත්වයක්.
මාස තුනක් සඳහා වැඩබලන විගණකාධිපති ලෙස කටයුතු කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති L.S.I. ජයරත්නගේ නම අනුමත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර තිබුණා.
ඒ අනුව ජනාධිපතිවරයා කළ නිර්දේශය සළකා බැලීම සඳහා කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිකුරාදා රැස් වී තිබෙනවා.
සභාවේ සිවිල් සමාජ සාමාජිකයන් තිදෙනාගෙන් එක් අයකු ඇගේ නමට විරුද්ධ වී ඇත්තේ ඇයට එරෙහිව එල්ල වී ඇති විවිධ චෝදනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ පිළිබඳ විස්තර ද ඉදිරිපත් කරමින්.
ඇයට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණයක් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඇයට එරෙහිව පවත්වනු ලබන පරීක්ෂණයක් පිළිබඳ විස්තර රැස්වීමේදී සභාගත කෙරුණු බව ද වාර්තා වනවා.
නාමයෝජනාව සම්බන්ධයෙන් පැවති ඡන්දයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සිව්දෙනෙකු නිර්දේශ කර සිටින තැනැත්තියට පක්ෂව ඡන්දය දුන් අතර දෙදෙනෙක් ඇයට විරුද්ධව ඡන්දය දී තිබෙනවා.
තවත් දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, පත් කිරීමක් අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට සාමාජිකයන් 10 දෙනෙකුගෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවම වශයෙන් ඡන්ද පහක් අවශ්‍යයි.
අවම ඡන්ද සංඛ්‍යාවක් නොමැති විට, නිර්දේශය සම්මත නොවූ බව සැලකෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පුරප්පාඩුව පිරවීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තවත් නම් දෙකක් ද මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණා.
සිකුරාදා පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වූයේ නැහැ.





