එළවළු වගාභූමි සහ ගඩොල් කර්මාන්තයටත් දැඩි හානි

මේ අතර උමා ඔයේ ජල පහරට හසුව කුඹුරු සහ එළවළු වගාවන්ට හානි සිදුව තිබුනා
එලෙසින්ම සේනානායක සමුද්‍රයේ ජලය නිදහස් කිරීමත් සමග ගල්ඔය ගඟේ ජල මට්ටම ඉහළ ගොස් දැඩි ඉවුරු කාදනයකට ලක් වෙමින් තිබෙනවා.
මේ අතර අම්පාර ගල්ඔය වම්ඉවුර කුඹුරු රැසක් පැවති අධික වර්ෂාව හේතුවෙන් විනාශ වී තිබෙනවා
එමෙන්ම උහන ආඳල් ඹය පිටාර ගැලීම හේතුවන් උහන මහවෙල වෙල්යාය, වළගම්පුර , වීරගොඩ, කුමාරිගම ,උදයගිරිය, ආඳල්ඔය සේනාගම ,පූච්චිකුඩි, ගෝනගල කුඹුරු අක්කර 2000 ක් පමණ වැලි වලින් පිරී විනාශ වී තිබෙනවා.රාජාංගන දකුණු ඉවුරේ ගොවි ජනපදයට වතුර ගෙනෙන ප්‍රධාන පද්ධතියේ වැව් බැම්ම කැඩී යාම හේතුවෙන් ගොවිතැන් සඳහා අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා ගොවි සංවිධාන නියොජිතයින් එක්ව එය පිළිසැකර කර කර තිබුනා.

මේ අතර මාඔය පිටාර ගැලීම හේතුවෙන් දංකොටුව සහ ඒ අවට පවත්වාගෙන ගිය ගඩොල් කර්මාන්තයටත් දැඩි හානි සිදුව තිබෙනවා.
දංකොටූව සහ ඒ අවට ගඩොල් පොරොණු 400 කට වැඩි ප්‍රමාණයක් ඇති අතර එමගින් සෘජූ සහ වක්‍ර ලෙස විශාල පිරිසක් රුකියාවේ නිරතව සිට තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂා පතනය නිසා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පතොක් වැව. වඩිගවැව, නිකහේන යන ගම්මානවල ගොවි පවුල් 1600ක් පමණ පිඩාවට පත්ව සිටිනවා.
එම ප්‍රදේශවල කුඹුරු අක්කර 2200ක් පමණ වගා කර ඇති අතර අක්කර පන්සීයකට වැඩි ප්‍රමාණයකට ජලය සමග වැලි පැමිණීම නිසා දැඩි හානි සිදුව තිබෙනවා.
ඔවුන් පවසන්නේ කවුඩුළුවැව. අඹගස්වැව.බේබියාවැව.ඇතුළු තවත් කුඩා වැව් 18ක් වාන්දැමීම නිසා වාන් ජලය සමඟ අධික වැලි ප්‍රමාණයක් තම වගා භූමිවලට පැමිණ ඇති බවයි.
මේ සම්බන්ධව මැදිරිගිරිය කෘෂි බලධාරීන් දැනුවත් කලත් මෙතෙක් තම වගා භූමිවලට කිසිදු දේශපාලන අධිකාරියේ හෝ රාජ්‍ය නිලධාරියෙක් නොපැමිණි බවයි ඔවුන් පවසන්නේ.

පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කලේ මේ සඳහා යුද හමුදා සාමාජිකයින්, ගොවීන් මෙන්ම ස්වේච්ඡා සේවකයින්ගේද සහය ලැබී ඇති බවයි.
අමුණ ප්‍රතිසංස්කරණය සඳහා මේ වන විට පොලිසැක් උර 85,000ක් සහ ජම්බෝ උර 4,500ක් පමණ යොදා ගෙන තිබෙනවා.

මෙම අමුණ ඇලහැර, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ යන සියලු ගොවි ව්‍යාපාර වෙත ඇලහැර යෝධඇල ඔස්සේ ජලය රැගෙන යාමට ජලය එකතු කරගන්නා ප්‍රධාන අමුණයි.

මේ අතර ගංවතුර තත්ත්වය සමඟ වසා දමා තිබූ ඓතිහාසික සෝමවතිය පුදබිම වන්දනා කිරීමට යන ප්‍රධාන මාර්ග නැවත විවෘත කර තිබෙනවා.
ඒ අනුව ඇතිවූ යහපත් කාලගුණික තත්ත්වයත් සමග ඓතිහාසික සෝමාවතිය පුදබිම මහා දැවැන්ත ජලකඳකින් යටවී දින 11කට පසු නැවත වන්දනා කිරීම සඳහා බෞද්ධ බැතිමතුන්ට අවස්ථාව හිමි වෙනවා.
පූජාභූමිය උදෙසා ගමන් කළ හැකි ප්‍රධාන මාර්ග දෙකම අද උදෑසන සිට විවෘත කර ඇති අතර පූජාභූමියේ සියලු ආගමික වතාවත්ද නිසි පරිදි සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

Share