ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්

දිවයිනට බලපෑ දිට්වා සුළි කුනාටුවෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා රජය විසින් ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය ඊයේ රාත්‍රියේ නිකුත් කළා.
ඒ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බිඳවැටි ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරිමේ අරමුණෙන්.
මුදල් ක්‍රම සම්පාදන සහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මඟින් නිකුත් කල මෙම විශේෂ චක්‍රලේඛයට අත්සන් තබා ඇත්තේ භාණ්ඩාගාර ලේකම් ආචාර්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහාතායි.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට ලබාදෙන වන්දි සහා දීමනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඒ අනුවයි ඊට අදාළ චක්‍රලේඛය ඊයේ රාත්‍රියේ මෙලෙස නිකුත් කරනු ලැබුවේ.
නව චක්‍රලේඛය අනුව ආපදාවෙන් බලපෑමට ලක්වු පවුල්වලට තම නිවාස නැවත පදිංචියට යෝග්‍ය පරිදි පිරිසිදු කර ගැනීම සඳහා එක් නිවසකට රුපියල් 25000/=ක මුදලක් සහ නැවත පදිංචියට අත්‍යවශ්‍ය මුළුතැන්ගෙයි බඩු මුට්ටු ආදිය මිලදී ගැනීම සඳහා තවත් රුපියල් 50,000ක මුදලක් ලබා දෙන්නේ නිවසේ අයිතිය නොසලකමින්.
එමෙන්ම නායයැම් සහ ගංවතුර හේතුවෙන් තම පදිංචි නිවස අහිමි වූ හෝ නිවාස පූර්ණ ලෙස හානී වීම හේතුවෙන් ජිවනෝපාය කටයුතුවල අඛණ්ඩව නිරතවිය නොහැකි පවුල් වෙත මාස 03ක කාලයක් මාසික දීමනාවක් ගෙවීමටද කටයුතු කර තිබෙනවා.
එය සාමාජිකයින් ගණන 02කට අඩු පවුලක් සඳහා රුපියල් 25000 ක් වන අතර සාමාජිකයින් ගණන 02කට වැඩි පවුල් සඳහා රුපියල් 50,000ක් වනවා.
ආපදා හේතුවෙන් තම නිවාස අහිමි වී පදිංචියට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා නව නිවසක් ඉදිකර ගන්නා තෙක් වෙනත් ස්ථානයක තාවකාලීකව පදිංචි වීමට උපරිම මාස 06ක් දක්වා රුපියල් 25000ක මාසික ගෙවල් කුලී දීමනාවක්ද හිමිවනවා.
මීට අමතරව ආපදාවට ලක් වූ වී, ධාන්‍ය, බඩ ඉරිඟු සහ ක්ෂේත්‍ර භෝග වගාබිම්වල වගා හානි හෝ නැවත වගා කිරිම සඳහා හෙක්ටෙයාරයකට රුපියල් 150,000 බැගින් ලබා දීමටත්, ආපදාවෙන් බලපෑමට ලක්වූ එළවලු වගාබිම්වල වගා හානී හෝ නැවත වගා කිරිම් සඳහා හෙක්ටෙයාරයකට රුපියල් 200,000 බැගින් වන පරිදි ගෙවීමටත් අදාල චක්‍රලේකය මඟින් අවසර ලබා දී තිබෙනවා.
ආපදාවෙන් බලපෑමට ලක්වු ලියාපදිංචි සත්ත්ව පාලන ගොවිපළවල් සඳහා ද එක් ගොවිපළ හිමියෙකුට රුපියල් 200,000 බැගින් ගෙවීමට නියමිතයි.
මේ යටතේ තනි සුලු හා ක්ෂුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරිමට සුදුසු තත්ත්වයකට පත් කිරිම සඳහා ඒකකයකට රුපියල් 200,000ක බැගින් වන දීමනාවක් දෙනු ඇති.
මීට අමතරව ආපදාවෙන් හානි වූ ධිවර බෝට්ටු සඳහා උපරිමය රුපියල් 400,000ක් දක්වා ද, ආපදාවට ලක්වූ සිසුන්ට පොත්පත් සහා ඇඳුම් පැළදුම් මිලදී ගැනීම සඳහා එක් දරුවෙකුට රුපියල් 15000 බැගින්ද ගෙවීමට මේ යටතේ නිර්දේශ කර තිබෙනවා.
මේ යටතේ ආපදා බලපෑම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි සිදුවී සිදු වී ඇති පදිංචි වීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදිකර ගැනීමට නිවාස ඒකකයකට රුපියල් ලක්ෂ පනහක් ගෙවීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම පදිංචිව සිටි නිවස පූර්ණ වශයෙන් හානි වී, නව නිවසක් ඉදි කිරිම සඳහා රජයේ ඉඩමක් ලබා දීමට නොහැකි අවස්ථාවක දී සුදුසු ඉඩමක් මිළදී ගෙන නිවසක් තනා ගැනීම සඳහා ද නිවාස ඒකකයකට රුපියල් ලක්ෂ පනහක දීමනාවක් හිමිවනු ඇති.
ආපදාව හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස පිළිසකර කර ගැනීම සඳහා ගෙවනු ලබන දීමනාව හානි තක්සේරුව අනුව උපරිමය රු2,500,000ක් දක්වා ලබා ගත හැකියි.
ඊට අමතරව ව්‍යසනයෙන් සිදුවු ජිවිත හානියකදී මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියා වෙත හෝ පූර්ණ ආබාධිත තත්ත්වයකට පත් වීමකදි එක් පුද්ගලයෙක් වෙත ගෙවන දීමනාව රුපියල් ලක්ෂ දහයක් දක්වා මෙම චක්‍රලේඛය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Share