දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද සවස් කාලයේදී මෙන්ම හෙට දිනයේදීත් බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 200 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරන්නේ අධික වැසි සහිත කාලගුණය ලබන 29 වැනිදා දක්වා පවතිනු ඇති බවයි.
මේ හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයන් ඇති වීමේ අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා.
ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලුවලින් බරව පවතින අතර, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම පද්ධතියේ බලපෑමෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වල මි.මී. 150 ක පමණ වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අද උදෑසන 8.30න් අවසන් වූ ගෙවුණු පැය 24 වැඩි වර්ෂාපනය අක්කරේපත්තුව ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලි මීටර් 146.1ක්.
අධික වැසි තත්ත්වය හමුවේ ජලාශ කිහිපයක් තවදුරටත් වාන් දමමින් තිබෙනවා.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර ඇති අතර ඉන් තත්ත්පරයට ඝන අඩි 3856ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙනවා.
අංගමුව ජලාශයේ විවෘත කර ඇති වාන් දොරටු දෙකෙන් කලා ඔයට මුදා හැරෙන ජල ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 524ක්. දඹුලුඔය ඉබ්බන්කටුව ජලාශයේ ද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර ඉන් තත්ත්පරයට ඝන අඩි 1000ක ජල ධාරිතාවක් කලා වැවට මුදා හැරෙනවා.
මේ අතර කලාවැවේ ජලධාරිතාව ද මේ වනවිට අක්කර අඩි 86,169ක් දක්වා ඉහළ ගොස් තිබීම හේතුවෙන් හදිසි වාන් දොරටු දෙකක් විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන් පියවර ගත්තා.
ඉන් තත්ත්පරයට ඝන අඩි 1422ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙනවා.
ඉඟිනිමිටිය ජලාශයේද මේ වන විට වාන්දොරටු 6ක් විවෘත කර ඇති අතර ඉන් තත්ත්පරයට ඝන අඩි 203ක ජල ධාරිතාවක් මුදාහැරෙනවා.
වැල්ලවාය, අලිකොට ආර ජලාශයේ වාන් දොරටු 3ක් අඩි 2 බැගින් විවෘත කෙරුණු අතර එහි ජලය කිරිඳි ඔයට මුදාහැරෙනවා.
මේ අතර ගංගා පිටාර ගැලීමෙන් සහ ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. මේ අතර නායයෑම හේතුවෙන් වසා ඇති කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටසේ පිලිසකර කිරීම් තවදුරටත් සිදුකෙරෙනවා.
භෞතිකව මැනීම් කටයුතු සිදුකිරීමට අපහසු වීම හේතුවෙන් ඒ සඳහා ලයිඩා තාක්ෂණය සහ ඩ්‍රෝන තාක්ෂණය භාවිතයට ගැණුනා.
එම ස්ථානය සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.
මේ අතර ඊයේ රාත්‍රියේ පැවති අධික වැසි හමුවේ බෙරගල සහ හපුතලේ අතර හල්දුම්මුල්ල කදිරේෂන් කෝවිල අසලින් මාර්ගයට පස්කන්දක් කඩා වැටී කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.
පසුව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මැදිහත්ව රථ වාහන ධාවනය සඳහා එක් මං තීරුවක් විවෘත කර තිබෙනවා.
මේ අතර බදුල්ල, ගාල්ල, කළුතර, මාතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 736 ක පුද්ගලයින් 2617 කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
සිදුවූ මරණ සංඛ්‍යාව ද 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.





