සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින්ට ඇරයුම්

සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට රජය ගෙන යන වැඩබිළිවෙළට සහය දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙරට දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින්ට ඇරයුම් කරනවා.

අනුර දිසානායක මහතා පක්ෂ නායකයින් හමු වී තිබුණේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකා දිනය වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහායි.

සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකික දිනයේ දැනට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳව විපක්ෂය නියෝජන කරන දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින් සහ නියෝජිතයන් දැනුවත් කිරීම සහ අදහස්, යෝජනා ලබා ගැනීම වෙනුවෙන් හමුවක් ජනාධිපතිවරයා⁣ගේ ප්‍රධානත්වයෙන් හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවත්වුණා.

ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව සියලු ජන කොටස් එක් කර ගනිමින් ‘ශ්‍රී ලාංකික දිනය’ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

සියලු ජාතීන් එක් කර ගනිමින් ශ්‍රී ලංකා දින සැමරුම සංවිධානය කිරීම, මීට සහභාගී වූ සියලු පක්ෂ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් වූ අතර ඒ හා සම්බන්ධ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සහ රට තුළ ජාතික සහ ආගමික සමගිය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට කොන්දේසි විරහිතව තම සහාය ලබා දෙන බවද පක්ෂ නියෝජිතයන් පවසා තිබෙනවා.

දේශපාලනික, ආගමික සහ සංස්කෘතික විවිධත්වයෙන් ඔබ්බට, පොදු වේදිකාවක සියලුදෙනාට එක්ව කටයුතු කළ හැකි පරිදි ශ්‍රී ලංකා දිනයේ වැඩසටහන් සහ සැලසුම් නිර්මාණය කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී සංවිධායක මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

රට කවර හෝ ජාතිවාදී උගුලකට හසුවීමට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණා.

ඒ වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා සියලුදෙනාට ආරාධනා කර තිබෙනවා.

Share