මාවනැල්ල – පහළ කඩුගන්නාව – ගනේතැන්න මංසන්ධියේ පිහිටි හෝටලයක් සහ නිවසක් මතට අද පෙරවරුවේ පස් කන්දක් සමඟ විශාල ගල් කිහිපයක් පෙරලී සිදුවූ අනතුරෙන් සිරවී සිටි සියලු දෙනා මුදා ගෙන තිබෙනවා / සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.
සිද්ධියෙන් පුද්ගලයින් දෙදෙනක් ජීවිතක්ෂයට පත් වූ අතර සුන්බුන් අතර සිරවී සිටිය දී මුදා ගැණුනු සිව්දෙනෙක් රෝහල්ගත කර සිටිනවා. මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල – පහළ කඩුගන්නාව – ගනේතැන්න මංසන්ධියේ පිහිටි හෝටලයක් සහ නිවසක් මතට අද පෙරවරු 8.40 ට පස් කන්දක් සමග විශාල ගල් පෙරළි අනතුරක් සිදු වුණා. අනතුරෙන් සුන්බුන් අතර සිරවූවන් මුදා ගැනීමට කඩිනම් මෙහෙයුමක් ආරම්භ කෙරුණා.
මුලින් පුද්ගලයින් සිව්දෙනෙක් මුදා ගත් අතර ඔවුන් මාවනැල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
ඒ අතර සිට 31 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියා.
ඔහු මාවනැල්ල ගල්අමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. හෝටලයේ සේවකයන් සහ එහි පැමිණි පාරිභෝගිකයන් ඇතුලු පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි පැවසුණා. ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුමට සහය වීම සඳහා යුද හමුදා කණ්ඩායමක් ද එම ස්ථානයට යොමු කෙරුණා.
පැය හයකට පමණ පසු කාන්තාවක් මුදා ගැනීමට ආපදා සහන සේවකයින්ට හැකි වුණා. සිර වී සිටි පිරිමි පුද්ගලයෙක් ද පිටතට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගත්ත ද ඔහු ඒ වන විට ජීවිතක්ෂයට පත්ව සිටියා. අනතුර සිදුවන අවස්ථාවේදී එම හෝටලය ඉදිරිපිට නතර කර තිබූ වාහන කිහිපයකට ද අලාභ හානි සිදුව තිබුණා. අනතුර සිදුවූ ස්ථානය මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ අතර පස් කන්ද කඩාවැටීමත් සමග කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට පොලිසිය කටයුතු කළා.
මහනුවර දෙස සිට කොළඹ දක්වා ගමන් ගන්නා රථ වාහන ගලගෙදර හරහා රඹුක්කන දෙසට ගමන් කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.
මේ අතර ගම්පොල සිට කොළඹ දක්වා පැමිණෙන රථ වාහන සඳහා මාවනැල්ල හෙම්මාතගම හරහා විකල්ප මාර්ග භාවිතා කළ හැකියි.
කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන සඳහා අධිවේගී මාර්ගය භාවිත කරන ලෙස පෙලිසිය ඉල්ලා සිටිනවා. මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වළල්ලාවිට සහ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කොලොන්න, කලවාන, අයගම, බලංගොඩ, ඇලපාත, කහවත්ත, ඉඹුල්පේ සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 02 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.





