ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ හමුවේ අන්ත පරාජයක්

පාකිස්තානයේ දී තවදුරටත් ජයග්‍රාහී රිද්මයට පැමිණිමට අපොහොසත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ හමුවේ අන්ත පරාජයක් ලැබුවා. ජයග්‍රහණය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 95කට දැවී ගිය අතර එය සිම්බාබ්වේ හමුවේ t20 තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යවයි.

පාකිස්තානයේ පැවැත්වෙන t20 තුන්කොන් තරගාවලියේ සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තරගය ඊයේ පැවැත්වුණේ රාවල්පිණ්ඩි ක්‍රික⁣ට් ක්‍රීඩාංගණයේදී.

කාසිය වාසිය දිනූ දසුන් ශානක පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.

එෂාන් මාලිංග මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර t20 වරම් හිමි කර ගත් අතර වසරකට වැඩි කාලයකට පස භානුක රාජපක්ෂ කණ්ඩායමට කැඳවා තිබුණා.

සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස් කළා.

බ්‍රයන් බ්‍රෙනට් ලකුණු 49ක් සහ සිකන්දර් රාසා ලකුණු 42ක් ලබා ගත්තා.

වනිඳු කඩුලු තුනක් දවා ගත් අතර එෂාන් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට කිසිදු ඉඩක් ලබා නොදුන් සිම්බාබ්වේ පන්දු බලඇණිය පළමු පන්දුවාරයේදීම කඩුලු දඩයම ආරම්භ කළා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දසුන් ශානක ලකුණු 34ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ලකුණු පුවරවේ දෙවැනියට ඉහල ලකුණු ලැබුණේ අතිරේක ලකුණුවලින් වීම විශේෂත්වයක්.

එම ගණන 12ක්.

භානුක ලකුණු 11ක් ලබා ගත් අතර ඒ හැරෙන්නට කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව නියමිත පන්දු වාර 20 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 95කට දැවී ගියා.

Share