දිළිඳුකමින් නිදහස් වීම පිළිබඳ කේරළයේ අත්හදාබැලීම් රටේ සෙසු ප්‍රාන්තවලට ද ප්‍රතිලාභ ලබා ගත හැකි ආදර්ශයක්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය පසුගිය දා තමන් නිරපේක්ෂ දරිද්‍රතාවයෙන් නිදහස් වූ ඉන්දියාවේ පළමු ප්‍රාන්තය බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
ජයග්‍රහණය නිවේදනය කරමින්, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන, වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රාන්ත මහ ඇමති පිනරායි විජයන් පැවසුවේ මෙම මොහොත කේරළයට සහ එහි ජනතාවට ඓතිහාසික ආඩම්බර මොහොතක් බවයි.
දිළිඳුකමින් නිදහස් වීම පිළිබඳ කේරළයේ අත්හදාබැලීම් රටේ සෙසු ප්‍රාන්තවලට ද ප්‍රතිලාභ ලබා ගත හැකි ආදර්ශයක් බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද වාමාංශික මහ ඇමතිවරයා සඳහන් කළා.

කේරළ ප්‍රාන්තය ලද මෙම ජයග්‍රහණය සුවිශේෂ වෙන්නේ පසුගිය වසරේ ලෝක බැංකු දත්තවලට අනුව, විශාලතම ජනගහනයක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් අතර තවමත් ඉන්දියාව ද ප්‍රමුඛ රටක් ලෙස පැවතීම හේතුවෙන්.
ඉන්දියාව පුරා, අසමානතාවය වාර්තාගත ලෙස ඉහළ යමින් ඉන්දියාවේ ධනවත්ම 1% රටේ ධනයෙන් 70% කට වඩා හිමිකරගෙන සිටිද්දී, මිලියන ගණනක් වැසියන් මන්දපෝෂණයෙන්, රැකියා විරහිතභාවයෙන් සහ ණය බරින් පෙළෙන පසුබිමක, 1970 දශකයේ සිට සමාජවාදී ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ මෙහෙයවෙන කේරළ ප්‍රාන්තය දිළිඳුකමෙන් නිදහස් වීම වෙනුවෙන් අනුගමනය කළ ප්‍රතිපත්ති ඉන්දියාවට මතු නොව, අසල්වැසි අපට ද සපයන්නේ ආදර්ශයක්
2021 පෙබරවාරි මාසයේදී, චීනය නිරපේක්ෂ දරිද්‍රතාවය අවසන් කළ ලොව පළමු රට බවට පත් වූ අතර, චීනයෙන් පසු එම ජයග්‍රහණය වාර්තා කරන කේරළ ප්‍රාන්තය ද, එසේම දරිද්‍රතාවය පිටුදැකීමේ උත්සාහයන්හි විශ්මයජනක ප්‍රතිඵල අත්කර ගනිමින්, 2030 වසර වන විට අන්ත දරිද්‍රතාවයෙන් නිදහස් වීමේ ඉලක්කය වෙත සාර්ථකව ළඟා වෙමින් සිටින වියට්නාමය ද සමාජවාදී දැක්ම මත පදනම් වෙමින් මෙම ජයග්‍රහණය වෙත ළඟවීම ලෝක කොම්යුනිස්ට් ව්‍යාපාරයේ ජයග්‍රහණයක් ලෙස ද අර්ථ දැක්වෙනවා.
ඒ් අතරින් කේරළ සංවර්ධන මාදිලිය විශේෂ වෙන්නේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන ඉලක්කය වෙනුවට මානව සංවර්ධන ඉලක්කය මත අවධානය යොමු කළ මගක් ඔස්සේ එම ජයග්‍රහණය වෙත ළඟාවීම හේතුවෙන්.
1970 දශකයේ කේරළයේ සමාජ පරිවර්තනය ඇරඹුණේ ඉඩම් සංශෝධන පනත් මගින් ඉඩම් නොමැති පිරිස් සහ ගොවි ජනතාවට, රජයට පවරාගත් මහා පරිමාණ ඉඩම් හිමියන් සතුව තිබූ භූමිය නැවත බෙදාදීමෙන්.
1980 දශකයේදී කේරළය අධ්‍යාපනය සහ සෞඛ්‍ය මත විශාල වශයෙන් මුදල් ආයෝජනය ඇරඹුවා.
එම ආයෝජන කේරළයේ කැපී පෙනෙන සමාජ සංවර්ධන දර්ශක සඳහා අත්තිවාරම සැපයූවා.
අනතුරුව 1996 දී කේරළය සමාජ සංවර්ධනය වෙනුවෙන් නව “ජනතා සැළැස්මක්” ප්‍රකාශයට පත්කළා.
කුඩාම ප්‍රාදේශීය ඒ්කකවලට පාලන බලය ගලායෑම අරමුණු කරගත් එම සැලැස්මේ බලවත්ම දිගහැරුම වූයේ 1998 දී කේරළය ආරම්භ කළ “කුඩුම්භ ශ්‍රී” වැඩසටහනයි.
ගෘහණියන් ආර්ථික සහ සමාජ සංවර්ධන වැඩපිළිවෙළට දායක කරගැනීම වෙනුවෙන් ඇරඹුණු මෙම කුඩුම්භ ශ්‍රී ස්ත්‍රී ජාලය මේ වනවිට මිලියන හතරකට අධික සාමාජික සංඛ්‍යාවක් සිටින ඉන්දීය රුපියල් බිලියන 40ක පමණ වත්කම් හිමි ලොව බලවත්ම ස්ත්‍රී එකමුතුව බවට පත්ව තිබෙනවා.
මෙම වැඩසටහන් ඔස්සේ 2012 වසර වනවිට කේරළයේ නිරපේක්ෂ දරිද්රතාවය 11% දක්වා පහත වැටී තිබුණා.
තවදුරටත් සමාජ සංවර්ධනයෙන් ඈත්ව සිටින පිරිස් හඳුනාගැනීම වෙනුවෙන් කුඩුම්භ ශ්‍රී ස්ත්‍රීන් 2021 දී ගෙයින් ගෙට යන සමීක්ෂණයක් ආරම්භ කළේ කේරළ ප්‍රාන්ත රජය කේරළයේ නිරපේකෂ දිළිඳුකම අවසන් කිරීම වෙනුවෙන් සැලසුම් කළ නව වැඩපිළිවෙළ වෙනුවෙන්.
එම ගෙයින් ගෙට සමීක්ෂණය මගින් පවුල් 64,006ක් තවදුරටත් අන්ත දිළිඳුකමින් පෙළෙන බවට හඳනාගෙන තිබූ අතර කේරළ ප්‍රාන්ත රජය, සියලු රජයේ ආයතන හවුල් කරගනිමින්, එම දිළිඳු පවුල් වෙන්වෙන් දියත් කළ වැඩසටහන අපේක්ෂිත කාලයට වසරකට පෙර අවසන් කෙරුණේ, චීනයට පසු නිරපේක්ෂ දිළිඳුකමින් නිදහස් වූ පළමු පාලන ඒ්කකය බවට පත්වෙමින්.
එකම නගරයක විවාහ උත්සවයක් වෙනුවෙන් ට්‍රිලියන ගණනින් මුදල් වැය කරන ධනවතුන් සහ දෛනික ආහාර වේල සපයා ගැනීම වෙනුවෙන් වීදි ගණිකා වෘත්තියේ යෙදෙන ළමා ගණිකාවන් නිර්මාණය කර ඇති මෝදිගේ ඉන්දියව තුළම, කේරළය පෙන්වා දෙන සංවර්ධන මාදිලිය අප යළි යළිත් අධ්‍යයනය කළ යුතු, සාකච්ඡා කළ යුතු සංවර්ධන ආකෘතියක් බවට විවාදයක් නැහැ.

Share