බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

තමා බඹරුන්ගේ ප්‍රහාරයට ගොදුරු වෙමින් සිය පුත්‍රයා බඹර ප්‍රහාරයෙන් බේරාගත් පියෙකු පිළිබඳ සංවේදී පුවතක් අපට අද වාර්තා වුණා. ඒ දාරක ස්නේහය වනාහි සම්, මස්, නහර, අස්ථි විනිවිද ගොස් ඇට මිඳුළුවල හැපී පවතී යන වදන අදටත් සත්‍යයක් බව පසක් කරමින්.

මෙම සංවේදී පුවත අපට වාර්තා වන්නේ මිහින්තලය – ඉලුප්පුකන්නිය ප්‍රදේශයෙන්.
සිය 11 හැවිරිදි පුත්‍රයා නිවස ඉදිරිපිට මාර්ගයේ පාපැදියෙන් සෙල්ලම් කරමින් සිටින අතරතුර බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
දරුවාගේ කෑගැසීම ඇසී එම ස්ථානයට වහා පැමිණි පියා බඹර ප්‍රහාරයෙන් සිය පුත්‍රයා බේරාගැනීම සඳහා තමා හැඳ සිටි කමිසය ගලවා දරුවා වසා ඔහු බදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දැඩි ලෙස බඹරුන්ගේ ප්‍රහාරයට ලක් වූ පියා ප්‍රදේශවාසීන් එක්ව මිහින්තලය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
ඔහුගේ තත්ත්වය බරපතළ වූ බැවින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
කෙසේ වෙතත් අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගෙන තිබුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 51හැවිරිදි ජගත් නිශාන්ත නම් පුද්ගලයෙක්.
දරුවාගේ මව විදේශගතව ඇති බැවින් පියා සහ පුත්‍රයා පමණක් මෙම නිවසේ ජීවත්ව සිට තිබෙනවා.

Share