ත්‍රිකුණාලමය බුදු පිළිමයක් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කිරීමත් සමඟ නොසන්සුන්තාවයක්

ත්‍රිකුණාලමය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන විහාරස්ථානයේ නව ගොඩනැගිල්ලකට මුල්ගල තබන අවස්ථාවේ බුදු පිළිමයක් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කිරීමත් සමඟ ඇතිවූ නොසන්සුන්තාවයෙන් ස්වාමීන් වහන්සේ දෙනමක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කෙසේවෙතත් එසේ ඉවත් කරන ලද බුදු පිලිමය යළි විහාරස්ථානයට වැඩම කරවීමට පොලිසිය අද දහවල් කටයුතු කළා.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අතර, එහිදී විවාදාත්මක තත්ත්වයක් හටගත්තා.
ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන විහාරය 1951 වසරේ ඉදි කරන ලද්දක් වන අතර, 2004 වසරේ ඇති වූ සුනාමියෙන් එහි ගොඩනැගිලි විනාශ වී තිබෙනවා.
2014 වසරේ මෙම ඉඩම සම්බන්ධයෙන් පූජා භූමි ඔප්පුවක් ද ලබා දී ඇති අතර, විහාරස්ථානය සඳහා ධර්ම ශාලාවක් ඉදිකිරීමේ කටයුතු ඊයේ පෙරවරුවේ ආරම්භ කෙරුණා.
කෙසේවෙතත් ත්‍රිකුණාමලය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ත්‍රිකුණාමලය පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ මෙම ඉදිකිරීම් තාවකාලිකව නතර කරන ලෙසයි.
එසේම මෙම භූමියේ නිතිවිරෝධීව ඉදිකර ඇති අවන් හලක් ද ඉවත් කිරීමට නියමිත බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.
මෙවන් පසුබිමක ඊයේ පස්වරුවේ බුදු පිළිම වහන්සේ නමක් ද මෙම ස්ථානයේ තැන්පත් කිරීමට භික්ෂුන්වහන්සේ ඇතුළු ප්‍රදේශවාසීන් කටයුතු කළ අතර, ඊට පොලිසියට විරෝධය පළ කිරීමත් සමඟ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.
පොලිසිය බුදු පිළිමය විහාරස්ථානයෙන් පිටතට රැගෙන යනු ලැබුවේ පැමිණ සිටි පිරිසගේ බලවත් විරෝධය මධ්‍යයේයි.
මෙහිදී ස්වාමීන් වහන්සේලා දෙනමක් තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර, ඉන් එක් හිමිනමක් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා.
මේ අතර, විහාරස්ථානයට අද දහවල් පැමිණි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතාට ද එල්ල වූයේ දැඩි විරෝධයක්.
ත්‍රිකුණාමලය විහාරස්ථානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බෞද්ධ සංවිධාන නියෝජිතයන් ඇතුලු පාර්ශ්ව රැසක් ද අදහස් පල කළා.
මේ අතර, අද පස්වරු 2ට පමණ පොලිස් නිලධාරීන් පිරිසක් බුදුපිළිමය යළි විහාරස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

Share