ඉල් මහා විරු සැමරුම

මෙරට වාමාංෂික දේශපාලනයේ කැරලිකාරී නායකයකු වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනය කෙරුණු නෙවැම්බර් 13 වැනිදා ඉල්මහ විරු සමරු දිනය ලෙස ජනතා විමක්ති පෙරමුණත් එයින් බිඳී ගිය දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් සමරනවා.
ජනතා විමුක්ති පෙරමුණේ සමරු වැඩසටහන කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ දී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන්
පෙරටුගාමීන් ඉල් සමරුව පැවැත්වූයේ දෙල්කඳ නගරයේ දී. 1983 වසරේ මෙරට සිදුවූ අවාසනාවන්ත දේශපාලන සංසිද්ධියක් වූ කළු ජූලිය ලෙස හඳුන්වන වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිව යුතු බවට චෝදනා කරමින්, එවක පැවති ජේ. ආර් ජයවර්ධන රජය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයක් තහනම් කිරීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ රහසිගත දේශපාලනයට අවතීර්ණ වුණා.
එයින් පසු 1987 වසරේ ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අත්සන් තබන ලද ඉන්දු – ලංකා ගිවිසුමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ දේශපාලනයට පිවිසුණු අතර, එවක පැවති ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ද ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව දැඩි මර්දනයක් දියත් කරනු ලැබුවා.
1989 නොවැම්බර් මාසයේදී ගම්පොල, උලපනේ වතු යායකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අත්අඩංගුවට ගනු ලැබුවේ එසේ සැඟව සිටිමින් සිය දේශපාලන ව්‍යාපාරය මෙහෙයවමින් සිටියදීයි.
අත්අඩංගුවට පත් රෝහණ විජේවීරගේ මරණය සිදුවූ ආකාරය දැඩි මතභේදයට තුඩු දී ඇති අතර, අත්අඩංගුවේ සිටියදීම ඔහු වෙඩිතබා ඝාතනය කර බොරැල්ල කනත්තේදී සිරුර පුළුස්සා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කළ බව මේ වන විට අනාවරණය වී තිබෙනවා
මියයන විට 46 වැනි වියේ පසුවූ රෝහණ විජේවීරගේ මරණයෙන් වසර 35කට පසු පසුගිය වසරේ ඔහු ගොඩනැගූ දේශපාලන ව්‍යාපාරය වූ ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයකින් මෙරට රාජ්‍ය බලය දිනාගත්තා.
ඒ් අනුව මෙවර 36 වැනි ඉල්මහ විරු සමරුව කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී සමරනු ලැබුවේ රටේ රාජ්‍ය නායකයාගේ ද සහභාගීත්වයෙන්. මේ අතර ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී නිර්මාණය වුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද අද නුගේගොඩ දෙල්කඳ පොළ භූමියේදී ඉල්මහ විරු සමරුවක් සංවිධානය කර තිබුණා.

Share