කිරින්දේ මත්ද්‍රව්‍ය ගැන තවත් තොරතුරු

කිරින්ද ප්‍රදේශයේදී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම සම්බන්ධීකරණය කර ඇත්තේ දැනට රැඳවුම් භාරයේ පසුවන දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සේවකයා බව විමර්ශනයේ දී අනාවරණ වී තිබෙනවා.
බහුදින ධිවර යාත්‍රාවේ සිට කුඩා ධිවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය රැගෙන එම සම්බන්ධීකරණය කර ඇත්තේ ඔහු විසින් බව පොලිසිය පැවසුවා.
අත්අඩංගුවටගත් සැකකරුවන් දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ පොලීසියට අවසර ලබා දුන්නා.බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ කිරින්ද පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් කිරින්ද අඳගල වැල්ල ප්‍රදේශයේ දී මුහුදේ පා කර ගොඩබිමට එවූ මත්ද්‍රව්‍ය අඩංගු පොහොර උර 18 ක් සොයා ගත් අතර එහි අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 345ක් තිබූ බව පසුව අනාවරණ කර ගත්තා.
එම මත්ද්‍රව්‍ය දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමට පැමිණි සිටි පුද්ගලයින් 7 දෙනෙකු සමග ලොරි රථයක් සහ මෝටර් රථයක් ඇතුලු තවත් වාහන 6ක් ද පොලිස් භාරයට ගැණුනා.‍
ඔවුන්ගෙන් ලද තොරතුරු මත තවත් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගනු ලැබුවා.
අත් අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුවන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.
ඒ සඳහා අධිකරණයේ අවසරය හිමි වූ අතර වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරනු ලබනවා.
ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ බහුදින ධිවර යාත්‍රාවේ සිට කුඩා ධිවර යාත්‍රාවට මත්ද්‍රව්‍ය ලබා ගැනිම සහ එම මත්ද්‍රව්‍ය නොගැඹුරු මුහුදුට දමා පසුව කඹ ආධාරයෙන් ගොඩබිමට රැගෙන ඒම මෙහෙය වා ඇත්තේ රැඳවුම් භාරයේ පසුවන දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සේවකයා බවයි.
එලෙස ගොඩ බිමට රුගෙන එන මත්ද්‍රව්‍ය බොරුල්ල, කඩුවෙල සහ අංගොඩ යන ප්‍රදේශ වෙත ප්‍රවාහනය කර එම ප්‍රදේශවල ස්ථාන කිහිපයක දි නැවත ඇසුරුම්කර අලෙවි කිරිමට සැලැසුම් කර තිබු බවද ඔහු අනාවරණ කර තිබෙනවා.
ගොඩබිමට රැගෙන එන මත්ද්‍රව්‍ය එම ප්‍රදේශවලට ප්‍රවාහනය කිරිම මෙහෙයවා ඇති තැනැත්තාද මේ වන විට රැඳවුම් භාරයේ පසුවනවා.
ඔහු සහ කුඩා බොට්ටුවකින් ගොඩබිමට මත්ද්‍රව්‍ය රැගෙන ආ තැනැත්තා අතර සන්නිවේදන සබඳතා පවත්වාගෙන ගිය වොකිටෝකි යන්ත්‍රවලට සවන් දීමෙන් මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට විමර්ශකයින්ට හැකි වී තිබෙනවා.
මත්ද්‍රව්‍ය ප්‍රවාහානය කිරිමට පැමිණෙන වාහන සිය භාරයට ගැනීමට මාර්ග බාධක 50ක් පමණ යෙදවීමට සිදු වූ බවද පොලිසිය පැවසුවා.
මෙම මත්ද්‍රව්‍ය ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දික්වැල්ලේ ‘රන් මල්ලි’ සහ අංගොඩ ප්‍රියංකර නමැත්තාගේ බවට අයත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
දික්වැල්ලේ ‘රන් මල්ලි’ යනු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන දැනට තංගල්ලේ පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින නඳුන් චින්තක හෙවත් හරක්කටාගේ සමීපතමයෙක්.
හරක් කටගේ සමීපතමයින් වන මිදිගම රුවන්, මිදිගම චූටී සමග සබඳතා පවත්වමින් දික්වැල්ලේ ‘රන් මල්ලි’ මෙම මත්ද්‍රව්‍ය ජාලය කලක සිට මෙහෙයවන බවයි වාර්තා වන්නේ. මේ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ලොකු පැටී’ගේ ගෝලයින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරෙන රුපියල් මිලියන 2.6 මුදල්, හෙරොයින් තොගයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන දෙකක් සමග මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සදහන් කලේ ජංගම මුර සංචාරයක් අතරතුර අලුත්ගමදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. මේ අතර පසුගිය 11වන දින හුරුළුවැවේ පතොරම් හමුවූ ස්ථානයේ තවදුරටත් සිදුකළ පරීක්ෂාවේ දී තවත් පතොරම් හමු වී තිබෙනවා.
ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර කඳවුරේ නිලධාරින්ද එක් වූ අතර T56 පතොරම් 49, MPMG වර්ගයේ පතොරම් 12, මිලි මීටර් 9 පිස්තෝල සදහා භාවිතා කරන උණ්ඩවල හිස් කොපු 08ක් එලෙස සොයා ගැණුනා.
පසුගිය ජුලි මස 23 සහ 25 දෙදින ද හුරුළුවැව තොටුපොළ ආසන්නයේ තිබී විවිධ වර්ගයේ උණ්ඩ විශාල ප්‍රමාණයක් සොයා ගත්තා.

Share