පාකිස්තානයේ ආරක්ෂාව තහවුරුයි – ජනපති පෞද්ගලිකව මැදිහත් වෙයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ආපසු පැමිණීමේ තිරණය රිවස් කරයි.
ආරක්ෂාව සම්බන්ධයෙන් ලද සහතිකය මත පාකිස්ථාන ක්‍රිකට් තරග සංචාරය අතරමග අතහැර දැමීමේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ආපසු හරවා තිබෙනවා.
කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මැදිහත් වී ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තරගාවලිය අතහැර දමා පැමිණෙන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ද සිදුකර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අතර, තවදුරටත් තරගාවලියේ රැදී සිටිීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තීරණය සම්බන්ධයෙන් කෘතඥතාව පළ කරන බව පාකිස්ථාන ක්‍රිකට් සභාපතිවරයා X සටහනක් තබමින් සඳහන් කළා. ඉස්ලාමාබාද් නුවර අධිකරණ සංකීර්ණයක් ඉදිරිපිට සිදුවූ බෝම්බ පිපිරීමත් සමඟ ආරක්ෂක ගැටලුවක් මතු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු තරග සංචාරය අතරමග අතහැර දමා යළි පැමිණීමට අවශ්‍ය බව කණ්ඩායම් කළමනාකාරිත්වය දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව කණ්ඩායම ඊයේ පැවති පුහුණු සැසියටද එක් නොවූ අතර තරගාවලියේ ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් ඇති වූයේ දැඩි අවිනිශ්චිතතාවක්.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වී මේ පිළිබඳ ක්‍රීඩකයින් සමග සාකච්ඡා කළ බවයි.
එමෙන්ම සෑම ක්රීඩකයෙකුගේම සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සෑම පුද්ගලයෙකුගේම ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය සහ අදාළ බලධාරින් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් සියලු ගැටලු නිසි ලෙස විසඳන බවට ඔවුන්ට සහතික වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණා.
මෙම තත්ත්වය තුළ තරගාවලිය සැලසුම් කළ පරිදි අඛන්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සියලු ක්‍රීඩකයින්ට, සහයක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී තිබෙනවා
ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා ඕනෑම ක්‍රිඩකයෙකු හෝ සාමාජිකයෙකු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළහොත්, තරගාවලියට බාධාවක් නොවීම සහතික කිරීම සඳහා වහාම ඊට ආදේශ ක්‍රීඩකයින් යොමුකරන බව ද අදාළ නිවේදනයේ සඳහන්.
එහි වැඩිදුරටත් දැක්වුණේ එලෙස ක්‍රීඩකයෙකු හෝ සහය කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ආපසු පැමිණියහොත් ඔවුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අතර, පාකිස්ථාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහතික වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහත්වරුන් සමඟ පෞද්ගලිකවම කතා කර ඇතැයි වාර්තා වනවා.
එමෙන්ම ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ද පාකිස්ථානයේ ආරක්ෂක ප්‍රධානීන් සමග මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවස්ථාවේ ඇතැම් රටවල ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ පසුබිමක ඉන්දු පාකිස්ථාන ඒකාබද්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශන තරගයකට සහභාගි වෙමින් දැක්වූ සහය සිහිපත් කර ඇති ජනාධිපතිවරයා ඊට කෘතගුණ දැක්වීමක් ලෙස මෙම තරගාවලිය අවසන් වනතෙක් එරට රැදී සිටින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් ලබා දී තිබෙනවා.
තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති අතර ඔවුන් නවාතැන්ගෙන සිටින හෝටලයට ද විශේෂ ආරක්ෂක කණ්ඩායම් යොදවා ඇතැයි වාර්තා වනවා.
මේ අතර, පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ද වන මොහිසීන් නක්වි ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන ඇති හෝටලයට පැමිණ ක්‍රීඩකයින් සහ කළමනාකාරිත්වය හමුවී ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරුවක් ලබා දී තිබෙනවා.
එමෙන්ම ඔහු පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ද හමුවී ඇති අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සපයා තිබූ අතර, මහකොමසාරිස්වරයා ඒ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර ඇතැයි ද වාර්තා වනවා.
මෙම පසුබිම තුළ යළි ආපසු පැමිණීමේ තීරණය අතහැර දැමූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පාකිස්ථානයේ රැදී තවදුරටත් රැදී සිටීමට එකඟවී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් X පණිවුඩයක් නිකුත් කළ පාකිස්ථානයේ ක්‍රිකට් සභාපතිවරයා සංචාරය දිගටම පවත්වාගෙන යාමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කෘතඥතාව පළ කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එය ක්‍රීඩාවේ ජීව ගුණය සහ සහයෝගිතාවයේ දීප්තිමත් බැබලීමක් ලෙසයි.
ඒ අනුව, තරගාවලිය එක් දිනකින් ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති අතර, දෙරට අතර අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක් දින තරගය හෙට පැවැත්වෙන අතර, 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි සහ අවසන් එක්දින තරගය 16 වැනිදා පැවැත්වෙනු ඇති.
මෙම තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්ථාන සහ සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය ද ඒ අනුව ආරම්භ වන්නේ නොවැම්බර් 18 වැනිදායි.
එහි අවසන් මහා තරගය නොවැම්බර් 29 වැනිදා පැවැත්වෙනු ඇති.
තරගාවලියේ සියලු තරග රාවල්පිණ්ඩි හිදී පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.
මේ අතර, තුන්කොන් තරගාවලියට සහභාගි වන සිම්බාබ්වේ කණ්ඩායම ද අද උදෑසන පාකිස්ථානයට ළඟා වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් 2009 වසරේ පාකිස්ථානයේ තරග සංචාරයක යෙදී සිටින අතරතුර ලාහෝර් හිදී ත්‍රස්ත ප්‍රහාරයකට මැදි වුණා.
ඉන් පසුව එහිදී මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර ඇතුළු ක්‍රීඩකයින් 5 දෙනෙකු තුවාල ලැබුවා.
එම ප්‍රහාරයත් සමඟ ලොව කිසිදු ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්ථානයේ තරග සංචාරය කිරීමෙන් වැළකී සිටි අතර, එම තත්ත්වය අවසන් කරමින් පළමු වරට පාකිස්ථානයේ තරග සංචාරයකට එක්වූයේ ද ශ්‍රී ලංකා කණ්ඩායමක් වීම විශේෂත්වයක්
ශ්‍රී ලංකා – පාකිස්ථානය අතර එක්දින තරගාවලිය මෙන්ම ශ්‍රී ලංකා – පාකිස්ථාන සහ සිම්බාබ්වේ තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ දේශීය විකාශන අයිතිය ටී.වී සුප්‍රීම් නාළිකාව සතු අතර නාළිකාවේ නිදහස් සංඛ්‍යාත UHF 47 ඔස්සේ මුළු දිවයිනම ආවරණය කර තිබෙනවා.
මීට අමතරව www.Sandbriks.com (සැන්ඩ්බ්රික්ස්) වෙබ් අඩවියට පිවිසීමෙන්ද කිසිදු අමතර ගාස්තුවකින් තොරව තරගාවලිය නැරඹීමට හැකියි.





