ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් ලක්ෂ 47කට අධික මුදලක් පාඩු කිරීමේ චෝදනාවට යටතේයි. හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබුණා.
හිටපු අමාත්‍යවරයා කැඳවා තිබුණේ 2021 වර්ෂයේ දී සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා ලබාදුන් සෘජු වෛද්‍ය රක්ෂණය නීත්‍යනුකූල නොවන ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ 2021 වර්ෂයේ දී සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ආයතන වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‌යාංශය, ශ්‍රී ලංකා හෝටල් කළමණාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන හතරෙහි සේවකයින් සඳහා වූ සෘජු වෛද්‍ය රක්ෂණයන් රාජ්‍ය සංස්ථාවක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබා ගැනීමේ දී කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුව එම රක්ෂණයන් ලබා ගැනීමට හැකිව තිබිය දී “මයි ඉන්ෂුවරන්ස් බ්‍රොකර්ස්” නැමැති තැරැව්කාර සමාගම ඒ සඳහා මැදිහත් කරගනිමින් රුපියල් හතළිස් හත්ලක්ෂ පනස් දහස් අටසිය විසි අටයි ශත හැත්තෑ දෙක මුදලක් අදාළ තැරැව්කාර සමාගම වෙත ගෙවීමට සලස්වා එයින් එම තැරැව්කාර සමාගමට අයුතු වාසියක් සිදු කිරීම සහ එයින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු.4,750,828.72 ක පාඩුවක් සිදු කිරීම යන චෝදනාව සම්බන්ධයෙන්.
අත්අඩංගුවට ගත් සැකකාර ප්‍රසන්න රණතුංග මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

Share