ගම්පොළ අම්බුලුවාව ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කරන කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා මැදිහත්වීම වළක්වමින් පසුගිය දා උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අභියාචනාධිකරණය විසින් පනවන ලද තහනම නීතිපති දෙපාර්තමේන්තුවේ නිසි මැදිහත්වීම නොමැතිවීම නිසාවෙන් සිදුව ඇති බව අනාවරණය වී තිබෙනවා
ඒ අදාළ නීති කෘත්‍ය වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය ඉදිරිපත් කල පිටු 400කට ආසන්න කරුණු දැක්වීමක් නීතිපති දෙපාර්තමේන්තුවට විසින් අධිකරණයට ඉදිරිපත් කිරීම මගහැරීම හේතුවෙන්.
එමෙන්ම මෙම නඩු විභාගයේදී කේබල් කාර් සමාගම ඉදිරිපත් කළ ඇතැම් ව්‍යාජ කරුණු දැක්වීම් නිශේධනය නොකර සිටීමටත් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රවේසම් වී තිබුණා. ම්පොළ අම්බලුවාව ප්‍රදේශය ආශ්‍රිතව ඉදි කිරීමට සැලසුම් කරන කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතුවලට අනිසි ලෙස මැදිහත්වීම හෝ බාධා කිරීම වළක්වාලමින් පසුගිය දා අභියාචනාධිකරණය විසින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියක වෙත රිට් ආඥාවක් නිකුත් කළා.
ඊට අමතරව ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ඇයගේ පුද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් පෙත්සම්කාර කේබල් කාර් සමාගමට ගෙවීමටත් එහිදී නියෝග කර තිබුණා.
අදාල කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඇම්බර් ඇඩ්වෙන්චර් පුද්ගලික සමාගම සිය පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ අම්බලුවාව ප්‍රදේශය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සියලු රාජ්‍ය ආයතන අනුමැතිය ලබා දී තිබියදී ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය එම කටයුතුවලට බාධා කරන බවයි.
එම සමාගම වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ සඳහන් කලේ අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශය, නාගරික සංවර්ධන අධිකාරියට අයත් බල ප්‍රදේශයක් හෙයින් ඊට මැදිහත්වීමට ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට බලයක් නොමැති බවයි.
මෙහිදී අදාළ සමාගම මෙම මතභේදාත්මක කේබල් කාර් ව්‍යාපෘතිය දියත් කිරීමට සැලසුම් කර ඇත්තේ ශ්‍රි ලංකා ආණ්ඩුවට අයත්, දීමනා පත්‍රයක් මගින් මහා භාරකාරකාරවරයා වෙත පවරා, අනතුරුව, අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණය භාර අරමුදල නැමති භාරයට පවරන ලද හෙක්ටයාර් 112 ක භුමියකය යන්න අභියාචනාධිකරණයට දැනුම්දීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබෙනවා.
අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ලෙස හඳුන්වන භූමිය ගම් පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා පුද්ගලික ඉඩම් හිමියන්ට වන්දී ලබාදී රජයට පවරා ගෙන ඇති භූමියක් බවත්, එවැනි භූමියක් තවත් සමාගමකට බදු දී ආදායම් ඉපයීමට අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ භාරකරුවන්ට නීත්‍යානුකූල හිමිකමක් නොමැකි බවත් අභියාචනාධිකරණයෙන් වසන් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය පිහිටි භූමිය පුරා ඇති සියලු ඉදිකිරීම් රජයේ අරමුදල් මගින් ඉදිකර ඇති මුත් ඉන් උපයන සියලු ආදායම් රජයේ කිසිදු අරමුදලකට බැර නොවී, මෙම භාරයේ භාරකරුවන් බව කියන හිටපු අගමැති දි.මු ජයරත්න මහතාගේ පවුලේ බූදලයට සින්න වී ඇති බවත්, මෙම රජයේ අරමුදල් අවභාවිතය ගැන විගණකාධිපතිවරයා අවස්ථා ගණනාවක දී කරුණු අවධාරණය කර ඇති බවත් නීතිපතිවරයා අභියාචනකාධිකරණය ඉදිරියේ කරුණු දැක්වූයේ නෑ.
එසේම කේබල් කාර් ව්‍යාපෘතියක් සඳහා අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය භාරයේ ඇති ඉඩම් බදු ගැනීමට ඉල්ලුම් කර ඇති රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඇම්බර් ඇඩ්වෙන්චර් පුද්ගලික සමාගම යනු අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ වර්තමාන භාරකරු වන අනුරාධ ලංකා ජයරත්නගේ මාමණ්ඩිය ට අයත් සමාගමක් යන්නත් නීතිපති දෙපාර්තමේන්තුව අධියාචනාධිකරණයෙන් වසන් කර තිබුණා.
නීතිපති දෙපාර්තමේන්තුවේ මේ කරුණු වසං කිරීම් හමුවේ රටට සැපයුණු ප්‍රවෘත්තිය වූයේ කේබල් කාර් ව්‍යාපෘතියක් වෙනුවෙන් රටට පැමිණි අගනා ආයෝජන ව්‍යාපෘතියකට උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය අකුල් හෙළන බවයි.
රජයේ ඉඩම්වල භාරකාරත්වය ප්‍රාදේශීය ලේකම්වරියට පැවරී ඇති බැවින් ඒ රාජකාරිය වෙනුවෙන් බොහෝ දේශපාලන තර්ජන මැද නොසැලී ක්‍රියාකළ උඩපළාත ප්‍රාදේශිය ලෙකම්ම්වරිය වැරදිකාරියක කළ මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ද මෙතෙක් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවක් පෙනෙන්නට නැහැ.
තම රාජකාරිය සෘජුව ඉටු කළ මෙම ප්‍රාදේශීය ලේකම්වරිය හුදකලා කර, අතීත දේශපාලන බලයෙන් අත්පත් කරගත් රජයේ දේපළවල සන්ථකය තහවුරු කර ගැනීම වෙනුවෙන් අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ භාරකරුවන් ගෙනයන කූඨ සැලසුම රජය තවමත් හඳුනා ගෙන නැද්ද?
නැතිනම් හඳුනාගෙන නිහඬව සිටිනවාද?
දේශපාලනඥයින්ගේ පවුල්වලට රටේ උරුමය පවරා ගැනීම වෙනුවෙන් නීතිගත කරගත් මේ භාර හෝ පදනම් අහෝසි කර පොදු ජනයාගේ සම්පත් පොදු ජනයාගේ උරුමයට පවරන නීති ගෙන එන්නට ඔබට තව කොපමණ කල් ගත වෙනු ඇත්ද?





