අනුරාධපුර – තලාවේ බස් අනතුරින් 40කට තුවාල – පාසල් සිසුවෙක් මරුට

අනුරාධපුර – තලාව – ජයගඟ හන්දිය ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදු වූ අනතුරින් පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 39 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලාව සිට හිරුගොල්ලාගම බලා ධවනය වූ පුද්ගලික බස් රථයක්.
අදාළ අනතුර සිදුව ඇත්තේ අද පස්වරු 12.15 පමණ.
මෙම බස් රථය තලාව සිට හිරුගොල්ලාගම බලා ධාවනය වෙමින් තිබියදී ජයගඟ ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් 40කට ආසන්න පිරිසක් ගමන් කර ඇති බවයි පැවසෙන්නේ.
බස් රථය ධාවනය වී ඇති මාර්ගය ඉතා පටු වීම හේතුවෙන් යතුරු පැදියකට ඉඩ ලබාදීමට යාමේදී මෙලෙස පෙරලී ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.
අනතුරින් බස් රථයේ ගමන් කළ වයස අවුරුදු 17ක පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පාසල් ළමුන් ඇතුළු තවත් 39 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් බොහෝ දෙනෙක් අද ආරම්භ වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන්.
කෙසේ වෙතත් අනතුර වූ වහාම ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව තුවාලකරුවන් තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගනු ලැබුවා.
අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share