දේශීය අර්තාපල් සහ බී ලුණු සඳහා වෙළදපොල තුළ ඉල්ලුමට සරිලන සැපයුමක් පවතින විටත් ආණ්ඩුව විසින් ඒවා ආනයනය කිරීමට පියවර ගැනීම නිසා සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවට ගොවීන් චෝදනා කරනවා.
ඒ අනුව ඊට විරෝධය පළ කරමින් අද දිනයේ උඩරට ගොවීන් විසින් සිය නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කිරීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
දේශීය අර්තාපල්, බී ලුණු සහ උඩරට එළවළුවලට නිසි මිළක් නොමැතිවීම හේතුවෙන් තමන්ට තවදුරටත් නිෂ්පාදන කටයුතු සිදුකරගෙන යෑමේ දුෂ්කරතා මතු වී ඇති බවට ගොවි සංවිධාන චෝදනා කරනවා.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මේ වනවිට ඉහළ ගොස් ඇති නිෂ්පාදන පිරිවැය හා සැසඳෙන ලෙස මිල ඉහළ යාමක් සිදුවී නොමැති බවයි.
ගොවීන් පෙන්වා දෙන්නේ වෙළදපොල තුළ පවතින ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දීත් ආණ්ඩුව විසින් අර්තාපල් සහ බී ලුණු ආනයනය කිරීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි.
මේ නිසා දේශීය අර්තාපල් සහ බී ලූණු ගොවින්ට නිශ්පාදන වියදමවත් ආවරණය වන පරිදි සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවටයි ගොවි සංවිධාන චෝදනා කරන්නේ.
මේ ගැටළුවට විසඳුමක් සහ රටේ සමස්ථ ගොවීන් මුහුන පා ඇති ගැටළු වලට විසදුම් ඉල්ලා උඩරට ගොවීන් විසින් අද දින සිය නිෂ්පාදන වෙළඳපොලට නිකුත් නොකිරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට පියවර ගත්තා.
එමෙන්ම කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ගොවි සංවිධාන විසින් විරෝධතාවයක් ද සංවිධානය කර තිබුණා.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂක කේ.බී. ගුණරත්න මහතා පවසන්නේ ගොවීන්ගේ ඇතැම් නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් රජයට පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියනයක ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට සිදුවූ බවයි.





