ඉන්දීය අගමැති නිල නිවසේ දී මේ හමුව සිදුවූ අතර ජයග්රාහී ක්රීඩිකාවන් ඉන්දීය ජනාධිපති ද්රෞපති මරුමු මහත්මිය ද හමුවුනා.
ඒ ඉන්දියාවේ රාස්ට්රපති භවන් හී දීයි.
ඉන්දීය අගමැති මෝදී මහතා මේ හමුවේ දී ඉන්දීය කාන්තා කණ්ඩායමේ “විශිෂ්ට ඔරොත්තු දීමේ හැකියාව සහ නැවත පැමිණීම” වෙනුවෙන් විශේෂයෙන් ප්රශංසා කළා.
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ඉන්දීය කණ්ඩායමේ නායිකා හර්මන්ප්රීත් කොවූර් පවසා සිටියේ සිය රටට මෙවැනි ගෞරවයක් අත්කර දීමට හැකිවීම සම්බන්ධයෙන් කණ්ඩායමක් ලෙස ආඩම්බර වන බවයි.
ඉතා සුහදශීලී වටපිටාවක පැවති මේ හමුවේ දී ඉන්දීය අගමැතිවරයා සිය සම රැක ගැනීම සඳහා අනුගමනය කරන ක්රියාමාර්ග සම්බන්ධයෙන් ඉන්දීය ඉදිරිපෙල පිතිකාරිණියක වන හාර්ලීන් ඩියෝල් ඇසූ ප්රශ්නය සාකච්චා කාමරය සිනහවෙන් පුරවනු ලබුවා.
මෙහිදී ඩියෝල් අගමැතිවරයාට පැවසුවේ ඔහු “බොහෝ සෙයින් බැබළෙන” බවයි.
“මම කවදාවත් මේ ගැන හිතුවේ නැහැ,” අගමැති මෝදි සිනහවෙන් ම පිළිතුරු දෙමින් කියා සිටියා.
තුන් ඉරියව් ක්රීඩක ස්නේ රානා කියා සිටියේ “ඔහුගේ රටවැසියන්ගේ ආදරය තමයි අග්රාමාත්යතුමා දිදුලන්නේ” යනුවෙන්.
මෙහිදී අගමැති මෝදී පවසා සිටියේ “මේ සියල්ල තිබියදීත්, ජනතා ආශිර්වාද නිරන්තරයෙන් ලැබෙන අතර එය අවසානයේ ඔබට බලපෑමක් ඇති කරයි.”යනුවෙනුයි.
පසුගිය ඉරිදා, ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායම දකුණු අප්රිකාව පරාජය කරමින් නවි මුම්බායි හිදී ඔවුන්ගේ පළමු කාන්තා එක්දින ලෝක කුසලානය දිනා ගත්තා.
ඉරිදා රාත්රියේ අවසන් තරඟයේදී කණ්ඩායම දකුණු අප්රිකාව ලකුණු 52 කින් පරාජය කරමින් කාන්තා එක්දින ලෝක ශූරතාව දිනාගත් සිව්වන කණ්ඩායම බවට පත්වුනා.
“අපි 2017 දී ඔබව මුණගැසුණු විට මට තවමත් මතකයි. ඒ කාලේ අපි කුසලානයක් අරගෙන ආවේ නැහැ. නමුත් මෙවර, අපි වසර ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී වැඩ කළ දෙයක් සඳහා, අපි කුසලානය මෙහි ගෙන ඒම අපට මහත් ගෞරවයක්,” නායිකා හර්මන්ප්රීත් කෞර් අගමැති මෝදි හමුවේ පැවසුවා.
“අපගේ අරමුණ අනාගතයේදී නැවතත් ඔබව මුණගැසී ඔබ සහ ඔබේ කණ්ඩායම සමඟ නැවත නැවතත් ඡායාරූප ගැනීමයි,” ඇය තවදුරටත් කියා සිටියා.
කෞර්ගේ ප්රකාශයට ප්රතිචාර වශයෙන් අගමැති මෝදි කියා සිටියේ “ඔබ විශිෂ්ට කාර්යයක් කර තිබෙනවා. ඉන්දියාවේ ක්රිකට් ක්රීඩාව ක්රීඩාවක් පමණක් නොවේ. එය එක්තරා ආකාරයකින් ඉන්දියාවේ ජනතාවගේ ජීවිතය බවට පත්වෙලා තියෙන දෙයක්. ක්රිකට් ක්රීඩාවේ හොඳක් සිදුවුවහොත්, ඉන්දියාවට හොඳක් දැනෙන අතර ක්රිකට් ක්රීඩාවේ සුළු වැරැද්දක් සිදු වුවත්, මුළු ඉන්දියාවටම නරකක් දැනෙනවා.”
මේ අතර සමාජ මාධ්යවල බහුල ලෙස පැතිර ගිය තරඟාවලියේ ක්රීඩිකාව වන දීප්ති ෂර්මාගෙ හනුමාන් පච්චය ගැන ද අගමැතිවරයා විමසා සිටියා.





