ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයින්ගෙන් “අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද” ලෙස බදු අය කිරීමට ගෙන ඇති තීරණය නිසා ඇතිව තිබෙන ගැටලුව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වය එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණය, දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාට යෝජනා කළා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා එලෙස යෝජනා කළේ අදාළ බද්ද අයකරගැනීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගත් අවස්ථාවේ දී.
ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයින්ගෙන් “අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද” අය කිරීමට ගෙන තිබෙන තීරණය අසාධාරණ බව සඳහන් කරමින් ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක විසින් ගොනු කරන ලද රිට් පෙත්සම් දෙකක් අභියාචනාධිකරණයේ දී අද කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙම සිද්ධියට සම්බන්ධ ක්රිකට් ක්රීඩකයන්ගේ පාර්ශ්වය, ශ්රී ලංකා ක්රිකට් ආයතනය, නීතිපතිවරයා සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සමඟ එක්ව සාකච්ඡා කර මෙම ගැටලුව විසඳා ගැනීම සුදුසු බවයි.
රජයට බදු ආදායම් අයකර කර ගැනීම වැදගත් වනවා මෙන්ම මෙය ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායම හා සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් මෙම බදු අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස මෙහිදී විනිසුරුවරයා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතාට යෝජනා කළා.
තමා මෙහිදී ක්රිකට් ක්රීඩකයින්ට පක්ෂපාතිව කටයුතු නොකරන බව සඳහන් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ජාතික ක්රිකට් ක්රීඩකයින් යනු ශ්රී ලංකාවේ කීර්තියට දායකත්වයක් ලබා දෙන පිරිසක් බැවින් ඒ සම්බන්ධයෙන් සලකා බලන ලෙසත් ඔහු සිය යෝජනාවේ දී සඳහන් කර සිටියා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිශාන් ප්රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයින් , ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් නොවන බවයි.
ජාතික කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයින් ස්වාධීන සේවා සපයන්නන් බව පෙන්වා දුන් නීතිඥ ප්රේමතිරත්න මහතා එසේ තිබියදී අදාළ ක්රීඩකයින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් ලෙස නිගමනය කරමින් ඔවුන්ගෙන් අදාල බදු අය කිරීමට දේශීය ආදායම කොමසාරිස් ජනරාල්වරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව මෙහිදි කියා සිටියා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණයට දැනුම් දුන්නේ ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් නොවන බවයි.
එසේ තිබියදී ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් කරුණු විමසීමකින් තොරව ඔවුන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් වශයෙන් නිගමනය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරල්වරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එය අත්තනෝමතික තීරණයක් බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.
එම නිසා මෙම කරුණු සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම ගැටලුව සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර යළි සලකා බලා තීරණයක් ගැනීම සුදුසු බව සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන 18 වැනිදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර සිටියා.





