ගල්ගමුව නාකොළගනේ පුරාණ රජමහා විහාරය අවට පිහිටි වනාන්තර කලාප එළිපෙහෙළි කර වාණිජ වගාවන් සඳහා පුද්ගලික පාර්ශවයක් වෙත ලබා දීමට එහි විහාරාධිපති හිමි ගනු ලැබූ පියවර වැළැක්වීමට කටයුතු නොකිරීම තුළින් වනජීවී අධ්යක්ෂ ජෙනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සහ වයඹ පළාත් පරිසර අධිකාරිය එම ගම්වාසීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ඒ අනුව අදාළ පාර්ශව විසින් සිය රාජකාරි පැහැර හැරීම පිළිබඳව භාෂා තුනෙන්ම ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බවයි අධිකරණය තීන්දු කළේ.
එමෙන්ම එළිපෙහෙළි කළ අදාළ භූමි ප්‍රදේශය, අදාළ විහාරාධිපති හිමියන්ගේ පුද්ගලික වියදමින් නැවත වගා කිරීමට පියවර ගන්නා ලෙසත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.
ගල්ගමුව, නාකොලගනේ පුරාණ රජමහා විහාරය අවට සිදුවූ වනාන්තර එළිපෙහෙළි කිරීම් සහ අනීතික විදුලි අලි වැටවල් ඉදිකිරීම තුළින් ගම්වාසීන්ට මුහුණ පෑමට සිදුවී තිබෙන හිරිහැරයන් සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ විභාගයට ගැනුණා.
එහි දී නාකොළගනේ පුරාණ විහාරය අවට පිහිටි ඉඩම් එම විහාරයේ විහාරධිපති හිමියන් විසින් අනීතික ලෙස හෙළිපෙහෙළි කර වාණිජ කටයුතු සඳහා ලබාදීම තුළින් විශාල පාරිසරික හානියක් සිදු වී ඇති බවත්, අනීතික විදුලි වැටවල් හේතුවෙන් ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම උග්‍ර වී තිබෙන බවත් පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබුනා.
පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ප්‍රියන්ත ප්‍රනාන්දු, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව නාකොළගනේ පුරාණ රජ මහා විහාරය අවට පිහිටි වනාන්තර කලාප පෙහෙළි කර ඒවා වාණිජ වගාවන් සඳහා පුද්ගලික පාර්ශව වෙත ලබාදීමට එම විහාරයේ විහාරාධිපති හිමි ගනු ලැබූ පියවර වැළැක්වීමට කටයුතු නොකිරීම තුළින් වනජීවී අධ්යක්ෂ ජෙනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සහ වයඹ පළාත් පරිසර අධිකාරිය එම ගම්වාසීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
මෙම වන විනාශය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් සමාව ඉල්ලා ජාතික පුවත්පත්වල භාෂා තුනෙන්ම දැන්වීම් පළ කිරීමට පියවර ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වනජීවී අධ්යක්ෂ ජෙනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ වයඹ පළාත් පරිසර අධිකාරියට නියෝග කළා.
එම දැන්වීම තුළින් මෙවැනි වන විනාශයන් ඉදිරියේදී සිදුවීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ද සඳහන් කළ යුතු බවත් නඩු තීන්දුවේ සඳහන්.
ඒ අනුව විනාශ වූ වනාන්තර පිහිටි ප්‍රදේශ පෙර පැවති තත්ත්වයට යළි පත්කිරීම සඳහා වන වගා කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලෙස වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා දැරීමට සිදුවන වියදම මෙම තීන්දුව නිකුත් වී මාස 3ක් ඇතුළත නාකොළගනේ පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලත්වාවේ රාහුල හිමියන් වෙත දැනුම් දිය යුතු බවත් නියෝග කළා.
එම දැනුම්දීම ලැබී මාස 3ක් ඇතුළත අදාළ මුදල විහාරාධිපති හිමියන් විසින් වනජීවී අධ්යක්ෂ ජෙනරාල්වරයා වෙත ගෙවිය යුතු බවත් එම නියෝගයේ සඳහන්.
ඊට අමතරව අනීතික ලෙස අදාළ විහාරයට අයත් දේපළ විකිණීම, අන්සතු කිරීම හෝ උකස් කිරීමක් සිදුකර තිබේ නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එසේ පවරා ඇති දේපළ විහාරස්ථානයේ ප්‍රයෝජනය සඳහා ආපසු ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් නියම කළා.
එසේම මෙම නඩු තීන්දුව නිකුත්වී මාසයක් තුළ මෙම වන විනාශය සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත් පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රයට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළා.
එම පැමිණිල්ල ප්‍රකාරව විමර්ශන පවත්වා ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගතයුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා නියෝග කළා.
එසේම අදාළ ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ඉදිකර තිබෙන අලි වැටවල් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත්, අදාළ විහාරස්ථානය ආසන්නයේ පිහිටි හෙක්ටයාර 55 ක වනාන්තර කලාපය වනඅලි රක්ෂිතයක් හෝ අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කරන ලෙස විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මෙම තීන්දුව හරහා නියෝග කළා.
මෙම නීති කෘත්‍යයට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ,
“නාකොලගනේ විහාරස්ථානය අවට වනාන්තර හෙළිපෙහෙළි කිරීම හේතුවෙන් පාරිසරික ගැටලු උත්සන්න වී ඇති බව පැහැදිලියි.
මේ හේතුවෙන් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සපයන පාලුකඩවල වැව, ජල පෝෂක ප්‍රදේශ විනාශ වී තිබෙන බවත් අනාවරණය වුණා.
වගඋත්තරකාර විහාරාධිපති හිමිගේ විරෝධතා වලින් ප්‍රකාශ කර ඇත්තේ තමන් විසින් හෙළිපෙහෙළි කර තිබෙන්නේ සන්නසක් මගින් විහාරස්ථානයට ලැබුණු ඉඩම් බවත්, ඒවා විහාරස්ථානයේ කැමැත්ත පරිදි භාවිත කිරීමට හැකියාව පවතින බවයි.
නමුත් මෙම සන්නස්ස සම්බන්ධයෙන් පරික්ෂා කිරීමේදී එහි විධිමත්භාවයක් අනාවරණය වුණේ නැහැ.
හෙළිපෙහෙළි කර තිබෙන වනාන්තර ප්‍රදේශ සම්බන්ධයෙන් සලකා බැලීමේදී ඒවායේ ඇතැම් ප්‍රදේශ එම සන්නසට අදාළ ප්‍රදේශ නොවන බවත් පැහැදිලියි.
සන්නසක් මගින් දේපළක් පවරා ඇති විට එය භාවිත කළ හැක්කේ වැඳුම් පිදුම් කිරීමේ කටයුතු හා විහාරස්ථානයේ අවශ්‍යතා සඳහා පමණයි.
මෙම පෙත්සමේ සඳහන්ව තිබෙන ආකාරයේ වාණිජ ක්‍රියාකාරකම් සඳහා සන්නසක් මගින් ලබාදී තිබෙන දේපළ භාවිත කළ නොහැකියි.
හෙළිපෙහෙළි කළ ප්‍රදේශවල ඉදිකර තිබෙන අනවසර විදුලි වැටවල් නිසා අලින්ගේ ගමනාගමනයට බාධා සිදුවෙලා තියෙනවා.
ඒ හරහා අදාළ ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම උත්සන්න වීමට හේතුවෙලා තිබෙනවා.” යනුවෙන් සඳහන් කළා.
සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ
” බුදු දහම තුළින් සතුන් හා පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දී බෙනවා.
“කූට දන්ත” සූත්‍රය මගින් සතුන් විනාශ කිරීම සඳහා සිදුකිරීමට නියමිත යාගයක් බුදුන් වහන්සේ විසින් වැළැක්වූ ආකාරය විස්තර කරලා තියෙනවා.
වන සතුන් හා ගස්වැල් ආරක්ෂා කිරීම රජුගේ වගකීම බව ඒ තුළින් පෙන්වා දී තිබෙනවා.
හින්දු දහම තුළින්ද ශාක හා සතුන් විනාශ කිරීම අපාගත වීමට හේතුවක් බව පෙන්වා දෙනවා.” යනුවෙනුයි.





