හෝමූස් සමුද්‍ර සන්ධිය මුලුමනින්ම වසා දමන බවට ඉරානය අනතුරු අඟවනවා.
පැය 48 ක් තුළ ඉරානයේ බලාගාර මුළුනින්ම විනාශ කර දමන බවට සෙනසුරාදා රාත්‍රී ට්‍රම්ප් කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකාය මෙම ප්‍රකාශය නිකුත් කළා.
මෙවන් පසුබිමක ට්‍රම්ප් සහ එක්සත් රාජධානියේ අගමැතිවරයා හෝමුස් විවෘත කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
ඉරාන මාධ්‍ය විසින් විකාශනය කරන ලද නිවේදනයක, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසන්නේ එක්සත් ජනපදය ඉරාන බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කළහොත් රටේ විනාශ වූ විදුලි බලාගාර නැවත ගොඩනඟන තුරු” හෝමුස් නැවත විවෘත නොකරන බවයි.
ඊට අමතරව, ඊශ්‍රායලයේ විදුලි බලාගාර, බලශක්ති සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මහාපරිමාණ ප්‍රහාර එල්ල කරන බවද ඉරාන හමුදාව පවසනවා.
කලාපය තුළ පවතින අමෙරිකානු කොටස් හිමිකාරිත්වය සහිත සියලුම සමාගම් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවද නිවේදනයේ සඳහන්.
නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ අමෙරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන කලාපීය රටවල බලශක්ති මධ්‍යස්ථාන ද නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකා ප්‍රහාර එල්ල කරන බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් පැය 48ක කාලයක් ප්‍රකාශට පත් කළේ සෙනසුරාදා ග්‍රිනිච් වේලාවෙන් පැය 23.44ටයි.
ඒ අනුව 23 වැනිදා ග්‍රිනිච් වේලාවෙන් පැය 23:44 දක්වා, ටෙහෙරාන් වේලාවෙන් නම් 24 වැනිදා පැය 3.14 දක්වා ඉරානයට සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට කාලය තිබෙනවා.
X හි සටහනක් තබමින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසන්නේ ඉරානයට එරෙහි එක්සත් ජනපද තර්ජන “බලාපොරොත්තු සුන්වීම” පෙන්නුම් කරන බවයි.
ඔහුගේ සම්පූර්ණ සටහන මෙයයි.
“ඉරානය සිතියමෙන් මකා දැමීමේ මායාව පෙන්නුම් කරන්නේ ඉතිහාසය නිර්මාණය කළ ජාතියක අනාගතය පිළිබඳ බලාපොරොත්තු සුන්වීමයි.
“තර්ජන සහ භීෂණය අපගේ එකමුතුකම ශක්තිමත් කරයි. හෝමූස් සමුද්‍ර සන්ධිය අපගේ භූමිය උල්ලංඝනය කරන අයට හැර අන් සියල්ලන්ටම විවෘතය. අපි යුධ පිටියේදී මුළා කරවන තර්ජනවලට ස්ථිරව මුහුණ දෙමු.”
මේ සියලු වර්ධනයන් මධ්‍යයේ එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාර්මර් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා සවස දුරකථන සංවාදයක නිරත වූ බව ඩවුනිං වීදියේ කාර්යාලය නිවේදනය කළා.
නායකයින් මැද පෙරදිග වත්මන් තත්ත්වය සහ විශේෂයෙන් ගෝලීය නැව්ගත කිරීම නැවත ආරම්භ කිරීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ අවශ්‍යතාවය සාකච්ඡා කළ බව නිවේදනයේ දැක්වුණා.
එහි දැක්වුණේ ගෝලීය බලශක්ති වෙළඳපොලේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම අත්‍යවශ්‍ය බව ඔවුන් එකඟ වූ බවයි.
මැදපෙරදිග යුද්ධය 1970 ගණන්වලට වඩා දරුණු බලශක්ති අර්බුදයක් ඇති කළ හැකි අතර එය 2022 දී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ ආරම්භක බලපෑම් හා සැසඳිය හැකි බව කැන්බරා හි පැවති මාධ්‍ය හමුවකදී ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් අනතුරු ඇඟවූවා.
ඔහු එහිදී පැවසුවේ 70 දශකයේ බලශක්ති අර්බුද දෙකෙන් ලෝකයට දිනක අහිමි වූයේ බැරල් මිලියන 10ක් වුවද අද වන විට දිනකට අහිමි වන බැරල් ප්‍රමාණය මිලියන 11ක් බවයි.
අර්බුදයේ බලශක්ති ප්‍රතිවිපාකවලට කිසිදු රටක් ඔරොත්තු නොදෙනු ඇතැයි ද ඔහු සඳහන් කළා.
මේ අතර ලොව ප්‍රමුඛතම බොරතෙල් ආනයනකරු වන චීනය, මෑත වසරවලදී ඉරානයෙන් තෙල් මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවායි.
නමුත් එක්සත් ජනපදය ඉරාන තෙල් සඳහා දින 30ක සම්බාධක සහනයක් නිකුත් කිරීමෙන් පසු තරඟකාරිත්වයට මෙන්ම ඉහළ මිල ගණන්වලටද චීනය මුහුණ දෙනු ඇතැයි රොයිටර්ස් වාර්තා කරනවා.
බීජිං, මෑත වසරවලදී ආනයන බිලෙන් ඩොලර් බිලියන ගණනක් ඉතිරි කර ගැනීම සඳහා විවිධ බටහිර සම්බාධකවලට මුහුණ දෙන රටවල් වන ඉරානයට අමතරව වෙනිසුවෙලා සහ රුසියාවෙන් ද තෙල් මිලදී ගත්තා.
චීනය පසුගිය වසරේ සාමාන්‍යයෙන් දිනකට බැරල් මිලියන 1.38 ක් ඉරාන තෙල් මිලදී ගෙන තිබෙනවා.
එය මුහුදු මාර්ගයෙන් ආනයනය කරන ලද මුළු තෙල් ප්‍රමාණයෙන් 13.4% ක්.
සාමාන්‍යයෙන් ඉරාන බොරතෙල් ම්ලදී ගැනීම හේතුවෙන් බැරලයකට ඉතිරිවන මුදල ඩොලර් 8ත්.10ත් අතර ප්‍රමාණයක්.
බලශක්ති වෙළෙඳපොළ දත්ත අනුව මුහුදේ පාවෙන ගබඩාවල ඇති ඉරාන තෙල් සංචිතය බැරල් මිලියන 171කට අධිකයි.
මේ සියලු තත්ත්වයන් මැද සඳුදා වෙළෙඳපොළ ආරම්භයේ දී ඉන්ධන මිල ස්ථාවර මට්ටමක පැවතියා.
වොෂින්ටනය තාවකාලිකව සම්බාධක ඉවත් කිරීමෙන් පසු ගෝලීය වෙළඳපොළට ඉරාන තෙල් බැරල් මිලියන ගණනක් මුදා හැරීමත්, බලශක්ති පහසුකම් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය සහ ඉරානය එල්ල කරන තර්ජන අතර සම්බන්ධය හා බලපෑම පැහැදිලි නොවීම මීට හේතුව බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
සිකුරාදා වන විට 2022 ජූලි මාසයෙන් පසු ඉහළම අගයට පැමිණි බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ග්‍රිනිච් වේලාවෙන් සඳුදා 0202 වන විට ශත 1 කින් පහළ ගොස් ඩොලර් 112.18 ක් වුණා.
ශත 52 කින් ඉහළ එක්සත් ජනපද WTI බැරලයක් දැක්වුණෙ ඩොලර් 98.75 ක් ලෙසයි.
යුද්ධය සිව්වන සතියට එළඹෙත්ම එක්සත් ජනපදය සහ ඉරානය ප්‍රහාර තීව්‍ර කරන බවට තර්ජනය කිරීමෙන් පසු සඳුදා ප්‍රධාන ආසියානු කොටස් වෙලඳපොලවල් තියුණු ලෙස පහත වැටුණා.
ජපානයේ නිකේයි225 ගනු දෙනු ආරම්භයේදීම 4.8% කින් පහත වැටුණු අතර දකුණු කොරියාවේ කොස්පි 5.5% කට වඩා පහත වැටී තිබෙනවා.




