T20 ලෝක කුසාලන තරගාවලියට තව දින හතරයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන T20 ලෝක කුසාලන තරගාවලිය තවත් දින හතරකින් ආරම්භ වනවා. සෙනසුරාදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලානය සඳහා සංචිතය නම් කළ අවසන් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ඊයේ 15 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කළා. දේශීය සංඛ්‍යාත ඔස්සේ තරගාවලියේ නිල විකාශන අයිතිය හිමි ව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි. ⁣T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව නම් කළ 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට කමිඳු මෙන්ඩිස් නැවත කැඳවා ඇති අතර ධනංජය ද සිල්වා ඉවත් කර තිබෙනවා. විසිතුන් හැවිරිදි පිතිකරු පවන් රත්නායක ද කණ්ඩායමට ඇතුළත්.

ඉරිදා එංගලන්තය සමග තරගයේදී උරහිසේ ආබාධයකට ලක් වූ එෂාන් මාලිංග ද සංචිතයට ඇතුළත් නමුත් වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන්ට අවසන් 15 දෙනා අතර ඉඩක් වෙන්වී නැහැ. සංචිතයේ සුවිශේෂීම කරුණ වන්නේ පසුගිය මාසයේ පාකිස්තානයට එරෙහි විස්සයි20 තරගාවලියේදී මෙන්ම එංගලන්තයට එරෙහිව මුලින් නම් කළ සංචිතයේ නොසිටි කමිඳු නැවත කැඳවීමයි. මැදපෙළ සවිමත් කිරීම සඳහා බව පවසමින් පාකිස්තාන සහ එංගලන්ත තරගාවලි දෙකේම අවසන් 11දෙනා අතර සිටි නමුත් ලකුණු අතරට පැමිණීමට අසමත්වු ටෙස්ට් නායක ධනංජය පිළිබඳ තේරීම් කමිටුව බලාපොරොත්තු අතහැර දමා තිබෙනවා. කමිඳු වුවද මෑත මාස කිහිපය තුළ හොඳින් ලකුණු අතර සිටින ක්‍රීඩකයෙක් නොවන නමුත් 130ක් ඉක්මවූ ප්‍රහාරාත්මක අනුපාතයක් පවත්වා ගෙනයෑම යම් තරමකට හෝ බලාපොරොත්තුවක් ඇති කරනවා. ධනංජය අතිරේක පන්දු යවන්නෙක් ලෙස යොදා ගැනීමට හැකි වීම කණ්ඩායමට ඇතුළත් වීමට සුදුසුකම් ලෙස දැක්වුව ද 2025 ආරම්භයේ සිට තරග 12 කදී පන්දුවාර හයක් පමණක් යවා ඇති එම හිඩැස, දෙඅතින්ම පන්දු යැවිය හැකි කමිඳුට පහසුවෙන් පිරවිය හැකි වනු ඇති.

ඒ තුළ වමත් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට අවසන් 11දෙනා අතරට පිවිසීමට ඉඩක් විවර කර ඇති, නමුත් 23 හැවිරිදි ඔහුගේ අත්දැකීම් මදිකම ඔහුට එරෙහිව පවතිනවා. ඔහු එක්දින කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වන නමුත් 2024 දී කුළුදුල් තරගයේ සිට ක්‍රීඩාකර ඇත්තේ ජාත්‍යන්තර T20 තරග හයක් පමණයි. ඉන් තරග තුනකදී පමණක් පන්දුවට පහර දී ඇති අතර කඩුලු හතක් දවාගෙන තිබෙනවා. කෙසේ වෙතත්, ඔහුගේ ෆ්‍රැන්චයිස් සහ දේශීය අත්දැකීම් වඩාත් සැලකිය යුතු වන්නේ ඔහු පසුගිය වසරේ SA20 හිදී පාර්ල් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර නොවැම්බර් මාසයේ පැවති රයිසින් ස්ටාර්ස් ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා A කණ්ඩායමට නායකත්වය දුන්නා. විශේෂයෙන් එංගලන්තයට එරෙහි එක්දින තරගාවලිය හා සලකා බැලීමේදී බොහෝ දුරට මෑතකාලීනඑක්දින ජාත්‍යන්තර තරග දක්ෂතා මත පදනම්ව දුනිත් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කරනු ලැබ ඇතැයි සැලකිය හැකියි.

තවත් වර්තමාන දක්ෂතාවලට වඩා අනාගතයේදී ලබාගත හැකි සාර්ථකත්වය පදනම් කරගෙන කළ තේරීමක් වන්නේ රත්නායකයි. ඔහු නොවැම්බර් මාසයේදී පාකිස්තානයේදී T20 ජාත්‍යන්තර වරම් දිනා ගත් නමුත් තරග තුනකින් යුත් තරගාවලියේ එක් තරගයක් පමණක් ක්‍රීඩා කිරීමෙන් පසු පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී සංචිතයට ඇතුළත් වූයේ නැහැ. කෙසේ වෙතත්, එංගලන්තයට එරෙහිව තුන්වැනි එක්දින තරගයේදි රැස් කළ අගනා ශතකයත් සමග තේරීම් කමිටුව පවන්, T20 කණ්ඩායමට සහ දැන් ලෝක කුසලාන සංචිතයට ද කැඳවා තිබෙනවා. කෙසේ වෙතත් කමිඳු, පවන් සහ දුනිත් සැලකීමේදී T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ කොතරම් අවිනිශ්චිත දැයි විවාදයක් නැහැ. පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර සහ කුසල් මෙන්ඩිස් මුල් පෙළ ස්ථාවර වී සිටියද, හිටපු සහ වත්මන් නායක දෙපළ වන චරිත් අසලංක සහ දසුන් ශානක අංක 4 සහ 5 ස්ථානවල හොඳින් ක්‍රීඩා කරනු දැක ගත නොහැකියි. මැද පෙළේ ඇති මෙම අවිනිශ්චිතතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජනිත් ලියනගේ අංක 7ට ස්ථානගත කිරීමෙන් පස්වැනි විශේෂඥ පන්දු යවන්නෙකු සඳහා ඇති අවස්ථාව ද අහිමි කර ගෙන තිබෙනවා. ජනිත් T20 තරග 11 කදී 103.94 ක ප්‍රහාරාත්මක අනුපාතයක් ලබාගෙන ඇති නමුත් මෑතකදී පාකිස්තානයට එරෙහිව පැවති තුන්වන විස්සයි20 තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. කුසල් පෙරේරා එංගලන්ත තරගාවලියේ දී නැවත සංචිතයට ඇතුළත් වුව ද වසර පුරාම පැවති දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් පාකිස්තානයට එරෙහි තරගාවලියෙන් ඉවත් කෙරුණු අතර ලෝක කුසලාන සහභාගිත්වය ද පැවතියේ අවිනිශ්චිතවයි.

කෙසේ වෙතත් 141.1 ක ප්‍රහාරාත්මක අනුපාතය ඔහුට සංචිතයේ ඉඩක් වෙන් වූ එකම හේතුව වනු ඇති. පිතිකරණය සම්බන්ධයෙන් කිසිදා නොවිසඳුණු ගැටලුවලින් හෙම්බත්ව සිටින ශ්‍රී ලංකාවට පන්දු යැවීම සම්බන්ධයෙන් ඇති ගැටළු ඉතා අවමයි. දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ එෂාන් මාලිංග යන ක්‍රීඩකයින් ඉනිමේ සෑම අදියරකදීම තරගයක් වෙනස් කළ හැකි දක්ෂතා දක්වා තිබෙනවා. කෙසේ වෙතත් උරහිසේ ආබායකට ලක් වූ එෂාන්ගේ සහභාගිත්වය තවමත් අවිනිශ්චිතයි. එසේවු වහොත් දැනට සංචිතයට ඇතුළත් නොවුණු ප්‍රමෝද් මධුෂාන් සහ නුවන් තුෂාර හේ බිනුර ප්‍රනාන්දු යන විකල්පයක් අයිසීසී අනුමැතියට යටත්ව සලකා බැලීමට තේරීම් කමිටුවට හැකි වනු ඇති. වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ විසින් මෙහෙයවනු ලබන දඟ පන්දු බලඇණියට වෙල්ලාලගේ, අසලංක සහ කමිඳුගේ සහය නිතැතින්ම හිමිවනවා. සම සත්කාරක ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, ඕමානය සහ සිම්බාබ්වේ සමඟ B කාණ්ඩයේ තරගවදිනවා. මූලික වටයේ ශ්‍රී ලංකාවේ සියලු තරග මෙරටදීම පැවැත්වෙන අතර අයර්ලන්තය සහ සිම්බාබ්වේ සමඟ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත්, ඕමානය සහ ඕස්ට්‍රේලියාව සමඟ පල්ලෙකැලේ දීත් තරඟ වදිනු ඇති. මේ අතර T20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ඔස්ට්‍රේලියානු සහ පාකිස්තාන කණ්ඩායම් ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.

Share