‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ නිකුත් කරනු ලැබුවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමකින් මෙම බලකාය සමන්විතයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ අවසන් සතියේ මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණතම ස්වභාවික ව්‍යසනයයි.
පශ්චාත් ආපදා පුනරුත්ථාපන, ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා උපාය මාර්ගික නායකත්වය, සම්බන්ධීකරණය, සංගත ප්‍රවේශය සහ අධීක්ෂණය කිරීම සඳහා “Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර තිබෙනවා.
පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතු වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක් බලමුලු ගැන්වීමේ කඩිනම් හා හදිසි අවශ්‍යතාවයක් පවතින බව ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන්.
එමෙන්ම “Rebuilding Sri Lanka’ මුල පිරුම සඳහා පැහැදිලි ලෙස නිර්වචනය කරන ලද නායකත්වයක්, සාක්ෂි මත පදනම් වූ ප්‍රමුඛතාවයක් සහ සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයෙන් යුතු සැපයුම් යාන්ත්‍රණයක් සහිත පාලන සහ මෙහෙයුම් රාමුවක් ස්ථාපිත කිරීම ද ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීමේ එක් අරමුණක්.
ඒ අනුව “Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධුරයට පත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියයි.
අමාත්‍යවරුන් වන විජිත හේරත්, ඒ.එච්.එම්.එච්. අබයරත්න , ලාල් කාන්ත , උපාලි පන්නිලගේ , සුනිල් හඳුන්නෙත්ති , බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස, අනිල් ජයන්ත ප්‍රනාන්දු , ධම්මික පටබැඳි, සුසිල් රණසිංහ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් වනවා.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් , නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක , භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති , ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන රෝහණ හෙට්ටිආරච්චි , මර්ලමති ගංගාදරන්, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම , සමන්තා ද සිල්වා , මන්දනා ඉස්මයිල් සහ පරාක්‍රම දිසානායක යන මහත්ම මහත්මීන් ද ජනාධිපති කාර්ය සාධක බලකායට පත් කරනු ලැබ තිබෙනවා.
ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා මෙහි ලේකම්වරයායි.
මූලික අවශතා, සනීපාරක්ෂාව සහ සෞඛ්‍යය නැවත ස්ථාපිත කිරීම,
මූලික යටිතල පහසුකම් නැවත ගොඩනැගීම
ජීවනෝපාය සහ වත්කම් ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීම
දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම
ඩිජිටල් දත්ත පද්ධති සහ තීරණ සහාය යාන්ත්‍රණය ස්ථාපිත කිරීම
පන්නිවේදනය සහ පාර්ශවකාර සම්බන්ධතා වැඩිදියුණු කිරීම.
යන නැවත ගොඩ නැගීමේ ක්‍රියාකාරකම්වලදී, සමස්ත මඟ පෙන්වීම, උපාය මාර්ගික තීරණ ගැනීම, අන්තර් අමාත්‍යංශ ගැටලු විසඳීම, ප්‍රධාන අරමුදල් සැපයීම සහ ප්‍රතිසාධන හා ප්‍රතිසංස්කරණ තීරණ සඳහා මහපෙන්වීම ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී තිබෙනවා.
ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම, අදාළ ක්ෂේත්‍රයන්හි පුනරුත්ථාපනය, ප්‍රතිසාධනය, ප්‍රතිසංස්කරණය සහ අරමුදල් රැස් කිරීමේ මුලපිරීම් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සහ ප්‍රශතිය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ආංශික අමාත්‍යවරයාගේ සභාපතීත්වය යටතේ උප කමිටු පත් කිරීම ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී ඇති දෙවැනි කාර්යයි.
පශ්චාත් ආපදා අවශ්‍යතා අගැයුම් කමිටුව
පොදු යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කමිටුව
පීඩාවට පත් ප්‍රජාවන් සඳහා නිවාස ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කමිටුව
දේශීය ආර්ථිකයන් සහ ජීවනෝපායන් පුර්නර්ජීවනය කිරීමේ කමිටුව
සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව
මුල්‍ය සහ අරමුදල් කමිටුව
දත්ත සහ තොරතුරු පද්ධති පිළිබඳ කමිටුව
මහජන සන්නිවේදනය පිළිබඳ කමිටුව
අති විශේෂ ගැසට් නිවේදනය මගින් නිර්ණය කර ඇති උප කමිටු වන අතර අවශ්‍ය විය හැකි පරිදි උප කමිටු පත් කිරීමට ද කාර්ය සාධක බලකාය වෙත බලය සහ අධිකාරිය ගැසට් නිවේදනය මගින් පවරා දී තිබෙනවා.





