දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය රුපියල් කෝටි තුනක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළා
ඊට අදාළ චෙක්තපත කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නා හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා විසින් ඊයේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට බාර දුන්නා
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
මේ අතර ‘Rebuilding Sri Lanka’ අරමුදලට මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 635කට ආසන්න මුදලක් ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම ආධාර මුදල ප්‍රධානය කරමින් හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ජනාධිපතිවරයාට සහතික වී ඇත්තේ ස්වභාවික ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ආපදාවට ලක් වූ දිවයින පුරා විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීම සඳහා විදේශ බෞද්ධ විහාරස්ථානවල සහාය ලබා ගැනීම සම්බන්ධීකරණය වෙනුවෙන් සහාය ලබා දෙන බවයි.
උන්වහන්සේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව පවසා තිබෙනවා.
පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියෝ මෙම අසීරු අවස්ථාවේ ජනතාවට සහන සලසමින්, රටට නිවැරදි නායකත්වයක් ලබා දීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ද අගය කර තිබෙනවා.
මෙහිදී රටත්, ජනතාවත් අසීරුතාවට පත් වු සෑම මොහොතකම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පෙරට පැමිණ කටයුතු කළ අන්දම සිහිපත් කළ ජනාධිපතිවරයා මෙම අවස්ථාවේදී ලබා දෙන දායකත්වය ද කෘතවේදීව අගය කළා.
විහාරස්ථ සහ විදේශීය ස්වාමීන් වහන්සේලා පිරිසක්ද, දායක සභාවේ සාමාජිකයෝ සහ විදෙස් නියෝජිත පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.





