මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කර ගැනීම මුල්කර ගනිමින් ඊයේ හඳුන්වා දුන් QR කේත ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට අකුරට ක්‍රියාත්මක වනවා.
කෙසේවෙතත් QR ක්‍රමයට ඉන්ධන ලබා ගැනීම සඳහා අද පෙරවරුවේ ද දිගු පෝලිම් දක්නට ලැබුණා.
කෙසේ වෙතත් අලුතින් මිල දී ගත් වාහන සඳහා ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය හරහා තවමත් QR කේතයක් ලබා ගැනීමට නොහැකි බවට එල්ල වන චෝදනා ද අඩුවක් නැහැ.
මේ අතර, කේෂ්ත්‍ර ගණනාවක වෘත්තිකයන් සහ කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවයි.
මැදපෙරදිග පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙරට ඉන්ධන සංචිත ආරක්‍ෂිත කර ගැනීම අරමුණෙන් QR කේත ක්‍රමය ඊයේ පෙරවරු 6 සිට යළි හදුන්වා දුන්නා.
ඊයේ යම් සහනයක් හිමි වුවද අද පෙරවරුවේ සිට QR කේතය අනුව ඉන්ධන ලබා දීම අකුරටම ක්‍රියාත්මක වුණා. ඉන්ධන පිරවුම්හල් අවට පොලිස් නිලධාරීන් ද යොදවා තිබෙනවා.
කෙසේවෙතත් කේෂ්ත්‍ර ගණනාවක පිරිස් තවදුරටත් චෝදනා කරන්නේ තම වෘත්තීය අඛණ්ඩව කර ගෙන යෑම සඳහා දැනට වෙන් කර ඇති ඉන්ධන කෝටාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.
මේ අතර, මැදපෙරදිග යුද තත්වය හමුවේ බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් හමුවේ ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
මැදපෙරදිග යුද්ධය හමුවේ ගල්අඟුරු, ගෑස්, තෙල් ආදී බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් සහ එම බාධාවන්ට මුහුණදෙමින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් එක් එක් අංශයන්ගෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග හා යෝජිත විකල්ප පිළිබඳ මෙහිදී සමාලෝචනය කෙරුණා.
මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව ලෝකයේ සියලු රටවලට විශාල බලපෑමක් එල්ල කර ඇති බවත් ඊට මුහුණ දීමේදී ඩිජිටල් කේත ක්‍රමය, නිවසේ සිට රාජකාරී සිදු කිරීම වැනි විකල්ප ක්‍රමවේදයන් නිසි සැලසුමකින් යුතුව ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික ආර්ථිකයට වන බලපෑම අවම කර ගැනීමට හැකි වන බවත් එමෙන්ම මතු වන නව තත්වයන් පිළිබඳ නිරන්තර ජනතාව දැනුවත් කරන විධිමත් සන්නිවේදනයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දුන්නා.
දැනට ක්‍රියාත්මක ඩිජිටල් කේත ක්‍රමය යටතේ මින් පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයන්ට මතු වී ඇති බාධා කඩිනමින් මගහරවාගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වුණා.
රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද ඒකාබද්ධ කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ මතු වන නව තත්ත්වයන්ට මුහුණ දීමේදි ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.
මතු වී ඇති නව තත්ත්වය පසුගිය කොරෝනා සමයේ තත්ත්වයන්ට වෙනස් තත්ත්වයක් බවත් එබැවින් නව තත්ත්වයට ගැලපෙන ලෙස විකල්ප ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමෙන් ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේද බලාත්මක කළ යුතු බවටත් මෙහිදී සාකච්ඡා වුණා.
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ යාවත්කාලීන වන නව තත්ත්වයන් පිළිබඳ නිරන්තර අධික්ෂණය පවත්වාගෙන යමින් ජාතික ආර්ථිකයට වන හානිය අවම කර ගැනීම සඳහා ගත හැකි විකල්පයන් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.




