ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව ඉල්ලා සිටි හදිසි මූල්‍යමය අධාරය අනුමත කර තිබෙනවා.
ඒ අනුව ඊයෙ රැස්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවට හදිසි ආපදා සහනයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 206 ක මුදලක් අනුමත කිරීමටයි.
මෙමගින් ව්‍යසනකාරී දිට්වා සුළි කුණාටුවෙන් හට ගත් හදිසි අවශ්‍යතා සපුරා ගැනීමට සහ සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලැබෙනු ඇති.
මේ අතර ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් පවතින රජයේ සේවා ඩිජිටල් කරන ව්‍යාපෘතියට සහාය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ලෝක බැංකු ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දෙන්නට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් කඩිනම් මූල්‍යන උපකරණය යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 206ක පමණ මූල්‍යන පහසුකමක් වෙත ප්‍රවේශය ලබා දෙමින්, හදිසි මූල්‍යනය ලබා දීම ඊයේ අනුමත කරනු ලැබුවා.
මෙම මුදල අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා පවතින කෝටාවෙන් සියයට 26කට සමානයි.
කෙසේ වෙතත් මෙම මූල්‍යනය පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩපිළිවෙළින් පරිබාහිරව ක්‍රියාත්මක වන්නක්.
එමෙන්ම විස්තීර්ණ මූල්‍ය පහසුකමෙන් සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන් කැප වී සිටින බව ද අදාල නිවේදනයේ සඳහන්.
විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ වන පස්වන සමාලෝචනය සම්පූර්ණ වීමට ආසන්න ව තිබිය දී ශ්‍රී ලංකාවට මෙම සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වුණා.
කෙසේ වෙතත් අරමුණු සහ ප්‍රතිපත්ති ප්‍රමුඛතා ආරක්ෂා කර ගනිමින්, මෙම සුළි කුණාටුවෙන් ඇති වූ ආර්ථික බලපෑම තක්සේරු කිරීමටත්, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ යළි ගොඩනැඟීමේ ප්රයත්න සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මෙම වැඩසටහනින් උපරිම සහයෝගය ලබා දෙන්නේ කෙසේ ද යන්න ඇගැයීමටත් යම් කාලයක් අවශ්‍ය වන බැවින්, පස්වන සමාලෝචනය කෙටි කාලයකින් ප්‍රමාද කර තිබෙනවා.
ඒ අනුව, සිය දූත කණ්ඩායමක් 2026 වසර මුල් භාගයේ දී සාකච්ඡා යළි ඇරඹීමට ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළා.
- “ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක සිට යළි නැගිටිමින් සිටින සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන විස්තීර්ණ ණය පහසුකම යටතේ වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින අවධියකයි මේ සුළි කුණාටුව ඇතිවුනේ.
ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට තිරසර ලෙස අනුගත වීම හේතුවෙන්, ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත් වීම, මිල ස්ථායීතාව, සැලකිය යුතු ආදායම් පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සහ විදේශ විනිමය සංචිත යළි ගොඩනැගීමේ ප්‍රගතියක් අත්පත් කර ගනිමින් සිටියා.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් ආර්ථිකය තවදුරටත් යම් අවදානමට ලක්විය හැකි අතරම, තවම්ත් දළ දේශීය නිෂ්පාදිතය ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට පත් වී නහැ”.
කොහොම නමුත් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා.
ඒ අනුව අපි උත්සාහ කරන්නේ හැකි ඉක්මනින් විස්තීරණ ණය පහසුකමේ ඊළඟ කොටස ලබාදීම සඳහා වන සාකච්ඡා ආරම්භ කිරීමටයි. ශ්‍රී ලංකාව හදිසියේ මුහුණ දුන් මේ අසීරු අවස්ථාවේ දී නැවත රට ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ රජය සහ ජනතාව සමග එක්ව කටයුතු කරන බව කියන්න කැමතියි.
ඒ සඳහා වන අඛණ්ඩ සහයෝගය අපි ලබාදෙනවා.”
මේ අතර මෙරට රජයේ සේවා ඩිජිටල්කරණය කිරීම ඇතුලු ඩිජිටල් ක්ෂේත්රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා වන ඩොලර් මිලියන 50ක ලෝක බංකු ව්‍යාපෘතියකට අනුමැතිය ලැබී තිබෙනවා
නිවේදනයක් නිකුත්කරමින් ලෝක බැංකු සමූහය පවසන්නේ මෙම ව්‍යාපෘතිය මූලික වශයෙන් ඉලක්ක කර ඇත්තේ රජයේ සේවාවන් ඩිජිටල්කරණය සහ නවීකරණය කිරීම වෙත බවයි.
ඒ තුලින් එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව මහජනතාවට සමීපකරවීම කළ හැකි වනු බවත් එම නිවේදනයේ සඳහන්.
මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය, රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ මාර්ගගත පුරවැසි සේවා ද්වාරයක්, රජයේ ආයතන හරහා දත්ත බෙදාගැනීම සඳහා ආරක්ෂිත පද්ධතියක්, ඩිජිටල් ලේඛන ගබඩාකිරීම සඳහා ඩිජිටල් කවුළුවක් සහ ඉල්ලුම වැඩිවන විට සංවර්ධනය කළ හැකි පද්ධතියක් ඇතුළු කේන්ද්‍රීය ඩිජිටල් විසඳුම් සඳහා සහාය වීමට නියමිතයි.





