දිවයින පුරා සියලුම රෝහල්වල වෛද්‍යවරු අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද පෙරවරු 8ට ආරම්භ කළා.
ඒ අනුව රජයේ රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ පිටතින් ලබා ගැනීම සඳහා තුන්ඩු නිකුත් නොකිරීම ඇතුළු සේවා පහකින් වැලකී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මේ අතර, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කළේ අනිද්දා පෙරවරුවේ සිට තමන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.
සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් ලිඛිත එකඟතා මෙතෙක් ක්‍රියාත්මක නොකළ බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ පැය 48ක වර්ජනය අවසන් කෙරුණේ ඊයේ පෙරවරු 8ටයි.
කෙසේවෙතත් වර්ජනය ක්‍රියාමාර්ගය අත්හළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට වෘත්තීය ක්‍රියාමාර්ග පහක් අඛණ්ඩව ක්‍රියාත්ම කිරීමට තීරණය කර තිබෙනවා.
රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ පිටත ඔසුසැල්වලින් මිලදී ගැනීම සඳහා තුන්ඩු නිකුත් නොකිරීම, රෝහල තුළ නොමැති රසායනාගාර පරීක්ෂණ පිටත රසායනාගාරවලින් සිදු කර ගැනීම සඳහා නිර්දේශ ලබා නොදීම, රෝහල් පද්ධතිය තුළ නව ඒකක ආරම්භ කරද්දී ඊට අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව පිළිබඳ අනුමැතිය ගෙන නොමැතිනම් ඊට සහය නොදැක්වීම, සෞඛ්‍ය සායන සහ සෞඛ්‍ය කඳවුරු සඳහා සංගමයේ වෛද්‍යවරුන් සහභාගි කරවීමෙන් වැළකීම සහ සහයක නිලධාරියෙක් නොමැතිව රෝගී පරීක්ෂාව සිදු නොකිරීම එම වෘත්තීය ක්‍රියාමාර්ගයි.





