G20 රාජ්‍ය නායක සමුළුව හෙට දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේදී ආරම්භ වනවා.
20 වැනි වරටත් පැවත්වෙන ජි-20 සමුළුවට දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වය ලැබී ඇත්තේ පළමුවරටයි.
ගෝලීය දකුණේ අඛණ්ඩව පැවැත්වෙන සිව්වන G20 රැස්වීම මෙය වන අතර, ගෝලීය පාලනය හැඩගැස්වීමේදී නැගී එන ආර්ථිකයන්හි වර්ධනය වන භූමිකාව ඉන් අවධාරනය කෙරෙනවා.
ලොව ධනවත්ම සහ සංවර්ධිත රටවල රාජ්‍ය නායකයන් සහභාගි වීමට නියමිත මෙවර සමුළුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වර්ජනය කර ඇති අතර, අමෙරිකාවේ නියෝජනයකින් තොරව කිසිදු තීරණයක් නොගන්නා ලෙස දකුණු අප්‍රිකාවට අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වෙනවා.
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් ද මෙවර සමුළුවට සහභාගි නොවන අතර, රුසියානු ජනාධිපතිවරයා සමුළුවට එක් නොවන්නේ යුක්රේන යුද ගැටුම් මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට දකුණු අප්‍රිකාව බැඳී සිටීම හේතුවෙන්.
ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, කොරියානු ජනරජය, මෙක්සිකෝව, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, තුර්කිය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය මෙන්ම යුරෝපීය සංගමය (EU) සහ අප්‍රිකානු සංගමය (AU) යන කලාපීය ආයතන දෙකක් ද G20 ට ඇතුළත්.
G20 සාමාජිකයින් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 85 ක් පමණ, ගෝලීය වෙළඳාමෙන් සියයට 75 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ නියෝජනය කරනවා.





