2007 වසරේදී ආරම්භ වී දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ දිග්ගැස්සුණු සාකච්ඡාවලින් පසු, ඉන්දියාව අද යුරෝපා සංගමය සමග ෙඑතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹුණා. ඉන්දියාව මත 50% ක තීරුබදු පැනවූ සහ යුරෝපා සංගමයේ රටවල් 08කට 100ක තීරුබදු පනවන බවට තර්ජනය කළ එක්සත් ජනපද ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ආතතීන්ට ගැඹුරු ප්‍රතිචාරයක් වූ මෙම ඉන්දු යුරෝපා නව හවුල්කාරීත්වය, ඉස්මතුවෙමින් වැඩෙන නව ලෝක පිළිවෙළක ඇඟවුම් පළ කරන බවයි විචාරකයින් පවසන්නේ.
යුරෝපා රටවල් 27 කින් සැදුම්ලත් යුරෝපා සංගමය සහ ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රටවන ඉන්දියාව අතර නිදහස් වෙළඳාමට ඉඩ සලසමින් එළඹ ඇති මෙම නව වෙළෙඳ ගිවිසුම ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳාම ඉක්මවා ගිය නව සහයෝගීතාවයක ආරම්භයක් බවයි දෙපාර්ශ්වයේම නායකයින් සඳහන් කර ඇත්තේ
“අපි සියලු ගනුදෙනුවල මව අවසන් කර ඇත්තෙමු,” වෙළෙඳ ගිවිසුම පිළිබඳ අවසන් එකඟතා තහවුරු කිරීමෙන් පසු යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන් සිය X ගිණුමේ සටහන් කර තිබුණා.
ගිවිසුම අවසන් කිරීමෙන් පසු යුරෝපා කොමිසම පැවසුවේ මෙම ගිවිසුම මගින් රසායනික ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ සහ විදුලි උපකරණ මෙන්ම ගුවන් යානා සහ අභ්‍යවකාශ යානා ඉන්දියාවට ගෙන්වීමේදී තීරුබදු ඉවත් කෙරෙන බවයි.
ඒ් අනුව දැනට 110% ක් තරම් ඉහළ අගයක් ගන්නා මෝටර් රථ සඳහා වන තීරුබදු, වාහන 250,000 ක කෝටාවක් යටතේ 10% දක්වා අඩු කිරීමට ඉන්දියාව නව ගිවිසුම යටතේ එකඟ වී ඇති බවයි පැවසෙන්නේ.
ඒ් සමගම කිරි සහ සීනි ඇතුළු සංවේදී කෘෂිකාර්මික නිෂ්පාදන හැරුණු කොට යුරෝපා රටවලින් ඉන්දියාවට ආනයනය කෙරෙන සෙසු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා මෙන්ම කෘෂි යන්ත්රෝපකරණවලද පිරිවැය අඩු කිරීමට නව ගිවිසුම යටතේ ඉන්දියාව එකඟ වී තිබෙනවා.
ඒ් සමගම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ නව ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමග ඉන්දියාවේ ගොවීන්ට සහ කුඩා ව්‍යාපාරිකයින් යුරෝපා වෙළඳපොළට ප්‍රවේශය පහසු වෙන බවයි.
“මෙය ඓතිහාසික ගිවිසුමක්, ඒ් වගේම ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් දෙකක් අතර හවුල්කාරිත්වයට කදිම උදාහරණයක්. මෙම ගිවිසුම ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 25% ක් සහ ගෝලීය වෙළඳාමෙන් තුනෙන් එකක් නියෝජනය කරනවා. ඉන්දීය බලශක්ති සතියේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ඉන්දීය අගමැතිවරයා පැවසුවා.
ඒ් සමගම යුරෝපා යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සඳහන් කර තිබුණේ මෙම නව ගිවිසුම මගින් බිලියන දෙකක ජනතාවකට නිදහස් වෙළඳ කලාපයක් නිර්මාණය කර ඇති බවයි.
ගිවිසුම මගින් දෙපාර්ශ්වයටම ප්රතිලාභ ලැබෙනු ඇති බවත් මෙය ආරම්භය පමණක් බවත් සඳහන් කළ යුරෝපා සංගම් සභාපතිනිය දෙපාර්ශ්වය අතර උපායමාර්ගික සම්බන්ධතාවය තවත් ශක්තිමත් වන ආකාරයෙන් වර්ධනය කරගැනීමට පියවර ගන්නා බව ද සඳහන් කර තිබුණා.
භාණ්ඩ අපනයනයේදී දැනටමත් ඉන්දියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා යුරෝපා සංගමය වන අතර, 2024-25 වෙළෙඳ වර්ෂයේදී දෙපාර්ශ්වය අතර වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 136 ක් පමණ වූ බවයි පැවසෙන්නේ.
ඒ් සමගම පසුගිය දශකය තුළ, යුරෝපා සමාගම් පිරිසිදු බලශක්තිය සහ ඩිජිටල් තාකෂණය යන අංශවල සිය ආයෝජන පුළුල් කර ඇති අතර, ඉන්දියානු සමාගම් – තොරතුරු තාක්ෂණ සේවාවන්වල සිට ඖෂධ දක්වා සිය නිෂ්පාදන යුරෝපා කලාපයේ පුරා ඔවුන්ගේ වෙළෙඳාම පුළුල් කරගෙන තිබෙනවා.
යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර නව වෙළෙඳ ගිවිසුම පැමිණෙන්නේ මේ වනවිටත් තියුණු ලෙස ඉහළ ගොස් ඇති මෙම වෙළෙඳ පොළ මතටයි.
කෙසේ වෙතත් අද එළඹි ගිවිසුමේ එකඟතා යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා කවුන්සිලය විසින් අනුමත කිරීමෙන් පසු මෙම වසර අග භාගයේ දී පමණ අත්සන් තැබීමෙන් පසු බලපැවැත්වෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ





