පසුගියදා අමෙරිකානු ඩෙල්ටා හමුදා බලකාය විසින් අත්අඩංගුවට ගත් වෙනසුවෙලා ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් ඊයේ නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවට ප්‍රථම වරට ඉදිරිපත් කෙරුණා.
එම අවස්ථාවේදී මදුරෝ අධිකරණය ඉදිරියේ පැවසුවේ, තමා “අහිංසක” සහ “යහපත් මිනිසෙකු” බවත්, තමන්ට එරෙහිව ගොනුකර ඇති සියලු චෝදනාවලට නිවැරදිකරු බවයි.
තමන් තවමත් වෙනසුවෙලා ජනරජයේ ජනාධිපතිවරයා බව ද ඔහු අධිකරණය හමුවේ සඳහන් කළා.
මේ අතර එරට අන්තර්වාර ජනාධිපති ලෙස උප ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් දිවුරුම් දුන්නා.
වෙනසුවෙලා ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 10.30ට පමණ අමෙරිකාවේ නිව්යෝර්ක්හි ෆෙඩරල් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.
ජනාධිපතිවරයා සහ ඔහුගේ ආර්යාව බන්ධනාගාර ඇඳුම්වලින් සැරසී සිටි අතර ඔවුන්ගේ පාදවලට විලංගු දමා තිබුණා.
නමුත් ඔවුන්ගේ අත් වලට විලංගු දමා තිබුණේ නැහැ.
විකිලීක්ස් නිර්මාතෘ, ජුලියන් අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බැරී ජොයෙල් පොලැක්, නිකොලස් මදුරෝ ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වුණා.
නඩුව ආරම්භයේ දී සිය අනන්‍යතාවය තහවුරු කරන ලෙස විනිසුරුවරයා ඉල්ලා සිටියා.
‘ස්වාමීනී මම නිකලස් මදුරෝ. වෙනිසුවෙලා ජනරජයේ ජනාධිපතිවරයායි. ජනවාරි 3 වැනිදා බලහත්කාරයෙන් පැහැර ගැනීමෙන් පසු මෙහි සිටිනවා. කරාකස් හි නිවසේ දී මා අල්ලා ගනුලැබුවා’ යනුවෙන් ස්පාඤ්ඤ භාෂාවෙන් මහත් සංයමයකින් යුතුව සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා
එහි දී මැදිහත් වූ විනිසුරුවරයා පවසා ඇත්තේ මේ සියල්ල පැවසීමට වේලාවක් සහ ස්ථානයක් ඇති බවයි.
මිනිත්තු 40ක් වූ නඩු විභාගය අතරතුර දී තමන්ට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය, අවි ආයුධ ජාවාරම් යන චෝදනා සියල්ලටම නිවැරදිකරු බව මදුරෝ සහ බිරිඳ දෙදෙනාම ප්‍රකාශ කළා.
මම අහිංසකයි, මම යහපත් මිනිසෙක් මදුරෝ පැවසූ බව සඳහන්.
බිරිද සිසිලියා පවසා ඇත්තේ තමන් මුලුමනින්ම අහිංසක බවයි.
කෙසේ වෙතත් වෙනිසුවෙලා ජනාධිපතිවරයා හෝ බිරිඳ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළේ නැහැ.
ලබන මාර්තු 17 වැනිදා නඩුව යළි විභාගයට ගැනීමට නියමිත අතර ජනාධිපති මදුරෝ සහ බිරිඳ නිව්යෝර්ක් බන්ධානාගාරයේ රඳවා තැබෙනු ඇති.
මේ අතර නඩු විභාගය අවසානයේදී, අධිකරණ සංකීර්ණයේ සිටි පුද්ගලයෙකු, ස්පාඤ්ඤ බසින් නිකොලස් මදුරෝට බැන වැදී ඇත්තේ ඔහු කළ සියල්ලට වන්දි ගෙවීමට සිදුවනු ඇති බව පවසමින්.
එම පුද්ගලයා දෙසට හැරුණු නිකලස් මදුරෝ තමන් තමන් පැහැර ගැනීමට ලක් වූ ජනාධිපතිවරයෙකු බවත් දැනට යුද සිරකරුවෙකු බවට පත්ව ඇති බවත් සඳහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයාට සහයෝගය දක්වන මෙන්ම, විරෝධය දක්වන පුද්ගලයින් සිය ගණනක් අධිකරණ පරිශ්‍රය ආසන්නයට රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර, උප ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් වෙනිසුවෙලා අන්තර්වාර ජනාධිපති ධුරයේ ලෙස දිවුරුම් දුන්නා.
ඇය දිවුරුම් දුන්නේ ජාතික සභාවේ සභාපතිවරයා සහ ඇගේ සහෝදරයා වන ජෝර්ජ් රොඩ්රිගස් ඉදිරියේයි.
56 හැවිරිදි ඩෙල්සි රොඩ්රිගස් මදුරෝගේ සමීපතමයෙකු වන අතර ඇය 2018 වසරේ සිට උප ජනාධිපති ධුරයේ කටයුතු කළා.
මේ අතර, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලට පත්වී සිටින බවයි.
වෙනසුවෙලා ජනතාවගේ ආරක්ෂාව සහ යහ පැවැත්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර මෙම ගැටලුව සංවාදය තුළින් සාමකාමී විසඳුමකට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.





