479 කට මරු කැඳවා 350ක් අතුරුදන් කළ දිට්වා

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළ ගොස් තවදුරටත් අතුරුදන්ව සිටින පුද්ගලයින් ගණණ 350ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවල සදහන් වනවා. අද දින වන විට වැඩිම පිරිසක් අපදාවට ලක්ව ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේයි.
එහි පවුල් 90,443කට අයත් පුද්ගලයින් 328,050ක් පීඩාවට පත්ව සිටිනවා.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන 294,674ක්.
මේ අතර මෙම ව්‍යවසනයෙන් වැඩිම ජීවිත සංඛ්‍යවක් අහිමි වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 118ක් සහ අතුරුදන්ව ඇති සංඛ්‍යවද 171ක් වනවා.
නුවර එළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක් වාර්තා වී ඇති අතර 73 දෙනෙක් තවදුරටත් අතුරුදන්ව සිටිනවා.
බදුල්ල දිස්ත්‍රික්කයෙන්ද මරණ 83ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ56ක් වාර්තා වී තිබෙනවා.

සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් පසු මෙරට සමස්ත දුම්රිය මාර්ග පද්ධතියෙන් භාවිතයට ගත් හැක්කේ සියයට 30ක කොටසක් පමණක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.
අයහපත් කාළගුණය හේතුවෙන් වැඩිම හානියක් එල්ල වී ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයටයි.
උඩරට මාර්ගයේ පේරාදෙණියේ යකා පාලමට බරපතළ හානි සිදුව ඇති බැවින් එය සම්පූර්ණයෙන්ම නැවත ඉදිකිරීමට සිදුවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම පාලම කඩා වැටිමේ අවදානමක පවතින බැවින් එය නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙසද දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඊට අමතරව තැනින් තැන සිදු වූ හානි හේතුවෙන් නැගෙනහිර, උතුරු මාර්ගවල දුම්රිය ගමනාගමනයද මේ වන විට සම්පුර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.
එමෙන්ම හලාවත මාර්ගයේ ද දුම්රිය ධාවනය තවමත් සියයට සියයක් යථා තත්ත්වයට පත් ව නැහැ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ප්‍වාහනය, කෘෂිකර්මය, විදුලි සැපයුම සහ විදුලි සංදේශ සේවාවන් ඇතුළු අංශ ගණනාවකට බරපතළ ලෙස හානි සිදුව ඇති බව අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
වැව් 1,777ක්, වේලි 483ක්, ඇළ මාර්ග 1,936ක්, කුඩා වාරිමාර්ග මාර්ග 305ක් සහ කෘෂිකාර්මික මාර්ග 328කට හානි සිදුවී ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.
එසේම ගොවිබිම් අක්කර 137,265ක් විනාශ වී තිබෙනවා.
විදුලි සම්බන්ධතා යථා තත්ත්වයට පත්වීම සියයට 91ක් වන නමුත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදුවෙමින් පවතිනවා.
බාධා එල්ල වූ විදුලි උපපොළවල් 16,178න් 11,315ක් නැවත සක්‍රිය කිරීමෙන් පසු, බලපෑමට ලක් වූ සම්බන්ධතා 3,531,841න් සියයට 72කට විදුලි සැපයම යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

බිඳවැටුනු විදුලි බල පද්ධතිය යළි යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතුවල නිරතව සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු හෙට්ටිපොල ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.
ඔහු ඊයේ දහවල් මෙලෙස අනතුරට ලක්ව තිබුණේ බෝවත්ත-වීරපොකුණ ප්‍රදේශයේ බිඳවැටුම් යථාවත් කරමින් සිටිය දී.

මේ අතර පසුගිය දින කිහිපයේම පිටාර ගැලූ ජලාශ සියල්ලක්ම පාහේ මේවන විට සාමාන්‍ය මට්ටමට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් කලා වැවේ වාන් දොරටු දෙකක් යළි විවෘත කෙරුණා.
අඩි 05 බැගින් විවෘත කර ඇති එම දොරටු මගින් තත්පරයට ඝණ අඩි 6306 ක් කලා ඔයට මුදා හැරෙනවා.
එය ගංවතුර අවදානමක් ඇති නොකරන නමුත් කලා ඔය භාවිතයේ දී සැලකිලිමත් වන ලෙස කලාවැව ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න සදහන් කළා.

Share