2026 වසරේ පළමු කාර්තුව සඳහා වූ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව CEB යෙන් මහජන උපයෝගිතා කොමිසම වෙත.

2026 ජනවාරි සිට මාර්තු මාසය දක්වා වන කාලය සඳහා අපේක්ෂිත පිරිවැයට සාපෙක්ෂව පවතින ආදායම් හිඟය මගහරවා ගැනිමට සමස්ත විදුලි ගාස්තුව සියයට 11.57ක ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබෙනවා.
ඒ අනුව 2026 වසරේ පළමු කාර්තුව සඳහා වූ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී ඇති බවයි වාර්ථා වන්නේ.
මේ වසරේ පළමු කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබෙනවා.
මෙම යෝජනාව හරහා විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා ඇති අතර ඒ අනුව සියයට 11.57 කින් විදුලි ගාස්තුව ඉහළ දැමිමටයි එමගින් යෝජනා කර ඇත්තේ.
සෑම වසරකදීම කාර්තුවකට වරක් විදුලි බිල සංශෝධනයක් සිදුකිරීමට විදුලි බල පනත අනුව අවසර හිමිව තිබුණ ද අවසන් වරට විදුලි බිල සංශෝධනය කෙරුණේ පසුගිය වසරේ ජුනි මාසයේයි.
ඒ සියයට 15 කින් වන අතර ඉන් පසුව අවසන් කාර්තුව සඳහා සියයට 06 ක පමණ විදුලි ගාස්තු ඉහළ නැංවීමක් යෝජනා කළ ද ඊට අවසර හිමි වුණේ නැහැ.
එවැනි පසුබිමක‍යි නව වසරේ පළමු කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම යෝජනාවට පාර්ශ්ව රුසකින්ම දැඩි විරෝධයක් එල්ලව පවතිනවා.
විදුලිබල මණ්ඩලය සිය යෝජනාවලිය මගින් පෙන්වා දී ඇත්තේ 2026 ජනවාරි සිට මාර්තු මාසය දක්වා වන කාලය සඳහා අපේක්ෂිත පිරිවැය රුපියල් මිලියන 137,016ක් වශයෙන්.
එමෙන්ම පවතින ගාස්තු යටතේ ලැබෙන ආදායම රුපියල් මිලියන 113,161ක් ලෙසද ඇස්තමේන්තුගත කර තිබෙනවා.
ඒ අනුව රුපියල් මිලියන 13,094ක ආදායම් හිඟයක් පවතින බැවින් සමස්ත විදුලි ගාස්තුව සියයට 11.57ක ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බවට විදුලිබල මණ්ඩලය යෝජනා කරනවා.
ඒ අනුව යෝජිත සංශෝධනයට අනුව ගෘහස්ථ කාණ්ඩයේ පළමු විදුලි ඒකක 60 දක්වා අදියර දෙකක් යටතේ ගාස්තු සංශෝධනය කිරිමට නියමිතයි.
ඒ අනුව මුල් ඒකක 30ට අදාළව එක් විදුලි ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 4.50ක ගාස්තුව රුපියල් 5.29ක් දක්වා වැඩි කිරිමට යෝජනා කර තිබෙනවා.
එම කාණ්ඩයේ මාසික ගාස්තුවද රුපියල් 80 සිට රුපියල් 94.11 දක්වා රුපියල් 14.11කින් ඉහළ දැමිමට නියමිතයි.
ඒකක 31 සිට 60 දක්වා, එක් ඒකකයකට අයකෙරෙන රුපියල් 8ක ගාස්තුව රුපියල් 9.41 දක්වා ඉහළ නැංවීමට හා මාසික ස්ථාවර ගාස්තුව ද රුපියල් 37.03 කින් ඉහළ දැමීමට යෝජිත අතර ඒ අනුව නව ගාස්තුව රුපියල් 247.03ක් වෙනවා.
ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ඒකකයකට දැනට අයකරන රුපියල් 18.50ක ගාස්තුව රුපියල් 21.76 දක්වා වැඩි කිරීමට යෝජිතයි.
එමෙන්ම ඒකක 91 සිට 120 දක්වා ඒකකයකට අය කරන රුපියල් 24ක ගාස්තුව ද රුපියල් 28.23 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත්තේ.
ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ ඒකකයක් සඳහා අයකරන රුපියල් 41ක ගාස්තුවද රුපියල් 48.23ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.
ඒකක 181 හෝ ඊට වැඩි ඒකකයක් සඳහා පැවති රුපියල් 61ක ගාස්තුව ඉහළ නැංවීමට යෝජනා කර ඇත්තේ රුපියල් 71.76 දක්වායි.
එමෙන්ම ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා විදුලි ගාස්තුද ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර ඇති බවද සඳහන්.
එහි පළමු ඒකක 30 සඳහා ඒකකයකට අයකරන රුපියල් 4.50ක ගාස්තුව රුපියල් 5.29 දක්වා ඉහළ දැමීමට යෝජිත අතර, රුපියල් 75 ක්ව පැවති මාසික ගාස්තුව ද , රුපියල් 88.23 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි.
ඒකක 31 සිට 90 දක්වා ඒකකයක මිලද ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර එම කාණ්ඩයේ මාසික ගාස්තුව ද රුපියල් 35.27 කින් ඉහළ නැංවීමට ඉල්ලා තිබෙනවා.
ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 9.41 දක්වාත්, ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 22.35 දක්වාත් ඉහළ නැංවීමටත් මේ යටතේ යොජනා කර තිබෙනවා.
ඊට අමතරව ඒකක 181 හෝ ඊට වැඩි නම් ඒකකයක මිල රුපියල් 26 සිට 30.59 දක්වා ඉහළ නැංවීමට ඉල්ලා තිබෙනවා.
මීට සමගාමීව කර්මාන්ත සහ හෝටල් සඳහා විදුලි ගාස්තුද ඉහළ දැමීමට ද යෝජනා කර ඇත්තේ ඒකක 300 හෝ 300ට අඩු කාණ්ඩය සඳහා රුපියල් 8ක් ලෙස පවතින ඒකකයක මිල රුපියල් 9.41 දක්වායි.
ඒකක 300ට වැඩි ඒකකයක මිල රුපියල් 17 සිට රුපියල් 20 දක්වාත් ඉහළ නැංවීමටත් යොජනා කර තිබෙනවා.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථානවල ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොවන බවද යොජනාවලියේ සදහන්.
මේ අතර විදුලිබල මණ්ඩලයේ මෙම යෝජනාවලිය අධ්‍යයනය කොට ඒ පිළිබඳ මහජන අදහස් විමසීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා.
ඒ අනුව ජනවාරි දෙවන වන සතිය වන විට මහජන අදහස් ලබාගැනීම ආරම්භ කෙරෙන අතර සති 6ක කාලයක් තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය දැනුම්දීමට නියමිතයි.

Share