2019 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සකකාරිණියක වන සාරා ජැස්මින් මියගොස් නොමැති බව වර්තා වේ

2019 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සකකාරිණියක වන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජැස්මින් මියගොස් නොමැති බව වාර්තා වනවා.
අද පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් මතුකල ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වූ ඇතැම් තොරතුරු වලින් ඒ බව නිරීක්ෂනය වන බවයි.
සාරා ජස්මින් සම්බන්ධයෙන් පවතින විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

2019 අප්‍රේල් 21වන දින පාස්කු ඉරිදාවේ දිවයිනේ ස්ථාන 08 ක කතෝලික සහ කිතුණු දේවස්ථාන සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවුණා.
මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාව හේතුවෙන් අඩුම තරමේ විදේශිකයන් 45 ක්, පොලිස් නිළධාරීන් 3 ක් සහ බෝම්බකරුවන් 8 දෙනාද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත් වූ අතර තවත් 500 කට අධික ප්‍රමාණයක් තුවාළ ලැබුවා.
මෙම පාස්කු ප්‍රහාරය විමර්ශනයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළ අතර එම කොමිසම එහි අවසන් වාර්තාව 2020 වසරේ පෙබරවාරි පළමුවැනිදා නිකුත් කළා.
එහි මුලික නිගමනය වී තිබුනේ 2019 වසරේ අප්‍රේල් 21වන දින දිවයිනේ ස්ථාන 08 ක සිදුවු ත්‍රස්ත ප්‍රහාර මාලාව ස්වයං අභිප්‍රේරක ඉස්ලාම් අන්තවාදින් කණ්ඩායමක ප්‍රහාරයක් බවයි.
මෙම බෝම්බ පිපිරීම් 8 ඉස්ලාම් අන්තවාදින් කණ්ඩායමක සැලැස්මක් බවද එහි මූලික නිගමනය වී තිබූණා.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් පසු ඒ සඳහා එක් වූ පුද්ගලයින් සොයා ගැනීමට රට පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර අප්‍රේල් මස 26 වැනි දා මඩකලපුව සායින්දු මරුදු ප්‍රදේශයේ නිවසක් ආරක්ෂක අංශ විසින් වටලනු ලැබුවේ ඒ අනුවයි.
මෙහිදී පිපිරීම් වලට වගකිව යුතු ත්‍රස්තවාදීන්ගේ ඥාතීන් එම නිවසේ සිටි අතර වැටලීම අතරවාරයේ එම නිවසේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ද සිදුවුනා.
එම නිවසේ දී මියගිය පිරිස සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපයේම විවිධ මත පල වුණේ 2019 අප්‍රේල් 26වනදා අවසන් මොහොත දක්වා මේ නිවසේ රැඳී සිටි බව පැවසුනු මීගමුව කටුවාපිටිය ප්‍රහාරකයා වූ මොහොමඩ් හස්තුන්ගේ බිරිඳ වු පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සරා ජෙස්මින් මෙම නිවසේදී මියගියා ද? නැද්ද? යන කරුනයි.
කෙසේ වෙතත් 2019 අප්‍රේල් 26 වැනිදා ප්‍රහාරයෙන් සාරා ජැස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් මිගිය බව මීට පෙර වාර්තා පල වුණා.
සාරා ජෙස්මින් මිය ගියේද නැද්ද යන්න සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකළ බව ද ජනාධිපති කොමිසම අවස්තා කිහිපයක දීම සදහන් කර තිබෙනවා.
ඒවන් වටපිටාවකයි 2019 අප්‍රේල් 26 සායින්දමරුදුහි සිදුවූ පිපිරීමෙන් පසු හමූවු මළසිරුරු කොටස් ජීවතුන් අතර සිටින සාරාගේ මව සමග DNA විශ්ලේෂණයකට යොමු කරන්නේ.
කෙසේ වෙතත් එම ඩීඑන්ඒ සාම්පල අවස්ථා දෙකක දී පරීක්ෂා කළ අතර එම අවස්ථා දෙකේදීම DNA ඇගේ සමීප ඥාතීන්ගේ සාම්පල සමඟ නොගැලපෙන බවයි තහවුරු වුනේ.
පසුව සාරාගේ මවගේ DNA සාම්පල ද සැසඳූ අතර සයින්දමර්දු නිවසේදී මියගිය කිසිදු පුද්ගලයෙකුගේ ශරීර කොටස් සමඟ ඒවා ගැලපුනේ නැහැ.
මෙම නොගැලපීම තුළ සාරා මියගියේ යැයි තහවුරු නොවන බවයි කොමිසම සිය වාර්තාව මගින් පෙන්වා දී තිබුනේ.
එමෙන්ම සාරා ජීවතුන් අතර සිටින බවට සාක්ෂිකරුවන් දෙදෙනෙකු ද කොමිසම හමුවේ සාක්ෂි දුන් බවත් එම වාර්තාවේ සඳහන්.
එහි පළමු සාක්ෂිය, සායින්දමරුදු පිපිරීමෙන් දිවි ගලවාගත් සහරාන් හෂීම්ගේ බිරිඳ, හාදියා වූ අතර එම පිපිරීමෙන් පසුව තමන් සාරාව දුටු බව ද ඇය ඉන්දියාවට පලා ගොස් ඇති බව ද ඇය විසින් ලබා දුන් රහසිගත සාක්ෂියක දැක්වුණා.
මේ අතර සායින්දමරුදු පිපිරීමෙන් මාස 5කට පසුවත් තමන් සාරාව දුටු බව ඇයව කුඩා කළ සිට දැන හැඳිනගෙන සිටි පුද්ගලයෙකු ජනාධිපති කොමිසමට සාක්ෂි ලබා දී තිබුණා
කෙසේ නමුත් ප්‍රහාරය සිදුව මේ වන විට වසර කිහිපයක් ගත ව ඇතත් තවමත් සාරා ජෙස්මින් ජීවත්ව සිටිනවා ද? නැද්ද? යන්න නිශ්චිතව තහවුරු කරගැනීමට විමර්ශකයින්ට හැකිවී නැහැ.
ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවේ නිර්දේශකර ඇත්තේ පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය යටපත් නොවිමටනම් අබු හින්ද් සහ සාරා ජෙස්මින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකිරීම අනිවාර්ය බවයි.
මෙවන් වට පිටාවකයි පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් ‘සාරා ජස්මින්” මියගොස් නැති බවට වන කරුණු මේ වන විට විමර්ශන අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවට දන්වන්නේ.
ඒ මෙම විමර්ශන වල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Share