වයස අවුරුදු 19න් පහල එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද පස්වරු 1ට වින්ඩ්හුක් හීදී පැවැත්වීමට නියමිතයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ විකාශය කිරීමේ අයිතිය ටී.වී සුප්‍රීම් නාළිකාවට හිමිව තිබෙනවා.
සුපිරි 6දෙනාගේ වටයේ දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගය ඊයේ වින්ඩ්හුක් හීදී පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළා.
තම නායකයාගේ තීරණයට සාධාරනයක් කළ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් දකුණු අප්‍රිකාණු ඉණිම සුනු විසුලු කළා.
දකුණු අප්‍රිකාණු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ පෝල් ජේම්ස් පන්දු 60ක් තුළදී ලකුණු 34ක් රැස්කර ගත්තා.
පන්දුවාර 32යි එක් පන්දුවක් තුළදී සියල්ලන්ම දැවී දකුණු අප්‍රිකාණු කණ්ඩායමට රැස්කර ගත හැකිවූයේ ලකුණු 118ක් පමනයි.
පන්දු යැවීමේදී චාල්ස් ලැච්මන්ඩ් කඩුළු 3ක් දවා ගත්තා.
පිළිතුරු ඉණිම දියත් කළ ඕස්ට්‍රේලියනු කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 5ක් තුළදී කඩුළු4ක් පමණක් දැවී සිය ජයග්‍රාහී කඩයිම පසු කිරීමට සමත්වුණා.
යොවුන් ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරගයෙන් ඩක්වත් සහ ලුයිස් නිය්යායට අනුව ලකුණු 25ක ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුනා.
කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.
ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 5ක් තුළදී සියල්ලම දැවී ලකුණු 226ක් රැස්කර ගත්තා.
වර්ෂාවෙන් එල්ල වූ බාධාවන් නිසා අයර්ලන්ත ඉණිම පන්දුවාර 40කට සිමා කිරීමට තරග තීරකයින් කටයුතු කළා.
ඒ අනුව ඔවුන්ට ලකුණු 190ක ඉලක්කයක් හිමි වුනා.
තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත්තද අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 40 අවසානයේ කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 164ක් පමණයි.
අයර්ලන්ත ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජේම්ස් වෙස්ට් ලකුණු 45ක් රැස්කර ගත්තා.
පන්දු යැවීමේදි මයිකා මැකෙන්සි කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.
මේ අතර ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද වින්ඩ්හුක් හීදී පැවැත්වීමට නියමිතයි.
බංග්ලාදේශය සහ එංගලන්තය අතර තරගය අද බුලවායෝ හීදී පැවැත්වීමට නියමිතයි.
තරග සියල්ලම මෙරට වේලාවෙන් පස්වරු 1.00ට ආරම්භවනු ඇති.





