19න් පහළ ලෝක කුසලානයේ ජපානයට එරෙහිව තරගයෙන් ලකුණු 203ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකාවට

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජපානයට එරෙහිව ලෝක වාර්තා පිහිටවූ ඊයේ තරගයෙන් ලකුණු 203ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ අතර තරගාවලියේ තවත් තරග තුනක් අද පැවැත්වෙනවා. නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීයව තරගාවලිය විකාශය කිරීමේ අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි.

සම සත්කාරක නැමීබියාවේ වින්ඩ්හුක් හි කාසිය වාසිය දිනා ගත් ජපන් නායකයා පළමුව පන්දු යැවීම තෝරා ගත්තා. ඊට කදිම පිළිතුරක් ලබා දුන් ශ්‍රී ලංතා ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 348ක සබඳතාවක් ගොඩනැගුවා. යොවුන් එක්දින ජාත්‍යන්තර තරගයක ඕනෑම කඩුල්ලක් සඳහා ඉහළම සබඳතාව ලෙස එය සැලකෙනවා. දිමන්ත මහවිතාන ලකුණු 115ක් ලබා සිටියදී දුවද්දී දැවී යැමෙන් සබඳතාව බිඳ වැටුණා. විරාන් චමුදිත ලකුණු 192ක් රැස් කළා. එය යොවුන් එක්දින ජාත්‍යන්තර තරගයක ක්‍රීඩකයෙක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ කෙන්යාවට එරෙහිව ලකුණු 191ක් ලබා ගත් ශ්‍රී ලංකාවේ හසිත බෝයගොඩයි. නායක විමත් දින්සර නොදැවී ලකුණු 44ක රැස් කළා. ශ්‍රී ලංකා යෞවනයෝ පන්දුවාර 50 අවසානයේ කඩුලු හතරක් පමණක් දැවි ලකුණු 387ක් රැස් කර ගත්තා. ජපන් කණ්ඩායමේ ගෞරවය රැක ගැනීමට Hugo Kelly නොදැවී ලකුණු 101ක් රැස් කළා. Nihar Parmar ලබා ගත් ලකුණු 23 හැර අන් කිසිදු පිතිකරුවෙක් ලකුණු 20 සීමාව පසු නොකිරීමත් විශේෂත්වයක්. ඒ අනුව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු අටක් දැවී ජපානයට රැස් කර ගත හැකි වූයේ ලකුණු 184ක් පමණයි.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වුණේ බුලවායෝ හිදී. දෙරට අතර ඇතිව තිබෙන විරසකය හේතුවෙන් කාසිය වාසිය උරගා බලන අවස්ථාවේ කණ්ඩායම් දෙකේ නායකයින් අතට අත දීමෙන් ද වැළකුණා. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ඉනිමේ කඩුලු 5ක් ලකුණු 119කට දැවී යම් අසීරු තත්ත්වයක සිටියා. නමුත් Abhigyan Kundu ලබා ගත් ලකුණු 80 හේතුවෙන් සටනක් දිය හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කර ගැනීමට ඉන්දීය යෞවනයන්ට හැකි වුණා. වෛභව් සූර්යවංශි ලකුණු 72යි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48.4කදී සියලු දෙනා දැවී ලකුණු 238ක් රැස් කළා. ආරම්භක වේග පන්දු යවන ක්‍රීඩක අල් ෆහඩ් ලකුණු 38කට කඩුලු 5ක් දවා ගත්තා. වර්ෂාවෙන් විටින් විට තරගයට එල්ල වූ බාධා හේතුවෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව බංග්ලාදේශයට පන්දුවාර 29කදී ලකුණු 165ක ඉලක්කයක් හිමි වුණා. පන්දුවාර 28.3 කදී ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 146ක් පමණයි. ඉන්දියාවට ජය මාවත විවර කළ විහාන් මල්හෝත්‍රා ලකුණු 14කට කඩුලු හතරක් බිඳ හෙලුවා.
අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග තුනක් අද පැවැත්වෙනවා. නවසීලන්තය හා ඇමෙරිකාව අතර තරගය පැවැත්වෙන්නේ බුලවායෝ හිදී. සත්කාරක සිම්බාබ්වේ හා එංගලන්තය අතර තරගය හරාරේ හිදී පැවැත්වීමට නියමිතයි. සමසත්කාරක නැමීබියාවේ වින්ඩ්හුක් හිදී බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානය අතර තරගය පැවැත්වෙනවා. මෙම තරග සියල්ල ආරම්භ වන්නේ පස්වරු 1ටයි.

Share