හිටපු ඇමති දේවානන්දාට රැඳවුම් නියෝග

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා දින 3ක් රදවා ප්‍රශ්න කිරීමට අවසර ලැබී තිබෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ ප්‍රතිපාදන යටතේ එම රැදවුම් නියෝග ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළා
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු සදහා නිකුත් කර ඇති ගිනි අවියක් අස්තාන ගත විම සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදීයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මධුෂ් සතුව තිබී සොයාගත් ගිනිඅවියක් සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක දේවානන්දා මහතා ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඩුබායි හි සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඔහුගෙන් සිදු කල ප්‍රශ්න කිරිම් හමුවේ හිටපු අමාත්‍යවරයාට අයත් ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු රුසක් හෙලිකර තිබෙනවා.
මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ තමා සතුව යුද හමුදාවට අයත් පිස්තෝලයක් තිබූ බවයි.
කෙසේ වෙතත් මාකඳුරේ මධුෂ්, 2020 වසරේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ දී පොලිස් වෙඩි හුවමාරුවකින් ජිවිතක්ෂයට පත් වුනා.
2019 මැයි 16 වන දින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් මත වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ ගිනිඅවි දෙකක් සොයා ගැනුණා.
සොයාගත් ගිනිඅවි දෙකෙන් එකක අනුක්‍රමික අංකය සූක්ෂම ලෙස මකා දමා තිබූ නමුත්, අනෙක් ගිනිඅවියේ අංකය පැහැදිලිව සටහන්ව තිබු බවයි විමර්ශන නිළධාරින් පැවසුවේ.
එම අංකය ඔස්සේ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එය ශ්‍රී ලංකා යුද හමුදාවට අයත්, 2001 වසරේදී එවකට අමාත්‍යවරයකු වූ ඩග්ලස් දේවානන්දාගේ පුද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කරන ලද පිස්තෝලයක් බවයි.
එමෙන්ම අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තු විමර්ශනවලදී හෙළිවී ඇත්තේ 2000 ජුලි 19 වන දින ඩග්ලස් දේවානන්දා මහතා වෙත යුද හමුදාව විසින් තවත් අවි තොගයක් නිකුත් කර ඇති බවයි.
එම ආයුධ අතර මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 6ක් සහ ඊට අදාළ උණ්ඩ 100ක් ද වෙනවා.
මෙම ආයුධ නිකුත් කිරීමේදී දේවානන්දා මහතා සිය පුද්ගලික අත්සනින් සහතික වී ඇත්තේ මෙම ආයුධ හුදෙක් ආත්මාරක්ෂාව සඳහා පමණක් භාවිතා කරන බවයි.
මේ අතර මෙම විමර්ශනයන්ට අදාළව මාකඳුරේ මධුෂ් පාර්ශවයේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් පසුවයි හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඊයේ දින අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ.
මෙම අවි ආයුධ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීම්වලදී හිටපු අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් මෙම ආයුධවල වර්තමාන තත්ත්වය පිළිබඳව නොදන්නා බවයි.
“ඒ කාලයේ ඒ ආයුධ ලබාගත් විවිධ පුද්ගලයන් දැන් විවිධ ස්ථානවල සිටිනවා, ඇතැම් අය විදේශගත වී සිටිනවා, ඒ වගේම ඇතැම් අය මියගිහින්” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඔහුට එල්ල කර ඇති චෝදනාව වන්නේ නිත්‍යානුකූලව ලබාදුන් ගිනිඅවියක් අවභාවිත කිරිම සහ අදාල ගිනි අවිය මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධකරු අතට පත් කිරිමයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ ප්‍රතිපාදන යටතේ දින 03ක රැදවුම් නියෝග ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියකු සදහන් කළා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබනවා.
1957 දී යාපනයේ උපත ලැබූ ඩග්ලස් දේවානන්දා, ඊරෝස් සහ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධාන හරහා දෙමළ සන්නද්ධ අරගලයට එක්ව සිටියෙක්.
පසුව ඊ.පී.ඩී.පී පක්ෂය පිහිටුවා ගනිමින් රජයේ හමුදා සමඟ එක්ව එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව කටයුතු කළ ඔහු, 1994 සිට 2024 දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා.
ධීවර අමාත්‍ය ධුරය ඇතුළු කැබිනට් තනතුරු රැසක් දැරු දේවානන්දා මහතාට එරෙහිව මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය සහ ඉන්දියාවේ චෙන්නායි හිදී සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබෙනවා.
දශක තුනකට අධික කාලයක් උතුරු ධීවර හා දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල චරිතයක් වූ දේවානන්දා මහතා, 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත් වුණා.

Share