සාමය ගෙනා පාකිස්තානය

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබාදී ඇති කාලය අවසන් වීමට ආසන්නව තිබියදී එක්සත් ජනපදය සහ ඉරානය දින 45 ක සටන් විරාමයක් සඳහා කලාපීය මැදිහත්කරුවන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් තාවකාලික සටන් විරාමයක් පිළිබඳ එක්සත් යෝජනාවක් ඉරානයට ලැබී ඇතත්, එය දැනට තක්සේරු කරමින් සිටින අතර, තීරණයක් සඳහා කාල නියමයන් සැකසීමට ඉක්මන් නොවන බව ඉරානය පවසන බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ.

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඇරඹූ යුද්ධය හයවන සතියට එළඹියේ, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා එක්සත් ජනපද ජනාධිපතිවරයා ඉරානයට ලබා දී තිබූ කාලයේ අවසන් පැය 24 ගෙවා දමමින්.
ඒ් සමගම සති අන්තයේ එක්සත් ජනපද ජනාධිපතිවරයා අසභ්‍ය වචන ද යොදාගනිමින් ඉරානයට හෝමූස් විවෘත කරන ලෙස තර්ජනය කළේ එසේ නොවන්නේ නම් අඟහරුවාදා වනවිට ඉරානයේ විදුලිබලාගාර සහ පාලම් වනසන බව පවසමින්.
මෙම අනතුරු ඇඟවුමෙහි සඳහන් කාලය ඉක්ම යාමට ආසන්න වෙමින් තිබියදී රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේ, අද සිට බලාත්මක කළ හැකි තාවකාලික සටන් විරාමයක් ඇතිකර ගැනීම සඳහා වන ගිවිසුමක් පිළිබඳ දෙපාර්ශ්වය සලකා බලමින් සිටින බවයි.
පකිස්ථානය විසින් ගැටුම් අවසන් කිරීම සඳහා සකස් කළ අදාළ රාමුව ඉස්ලාමාබාද් එකඟතාව ලෙස හඳුන්වා දී තිබුණා.
ඉරානය සහ එක්සත් ජනපදය සමඟ ඉකුත් රැයෙහි එය හුවමාරු කර ගෙන, ඒ් සම්බනධයෙන් සාකච්ඡා කර ඇති බවත්, ඒ් අනුව අද දිනය තුළ තාවකාලික සටන් විරාමයක් ඇතිකරගැනීමට හැකිවනු ඇති බවටත් සාකච්ඡාවල අතරමැදි පාර්ශ්ව උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළා.
කෙසේ නමුත් අදාළ සටන් විරාමය පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ශ්වය සඳහන් කර තිබුණේ පාකිස්තානයෙන් සටන් විරාම යෝජනාවක් ලැබී ඇති නමුත් තීරණයක් සඳහා කාල නියමයන් සැකසීමට ඉක්මන් නොවන බවයි.
ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියා සටන් විරාමයක් වෙනුවෙන් එක්සත් ජනපද කැපවීමට පිළිබඳව සැක පළ කළ බව රොයිටර්ස් වාර්තාවේ සඳහන්.
මේ අතර සටන් විරාම යෝජනාව පිළිබඳ සාකච්ඡාවක් ඉස්මතු වීමට මත්තෙන් හෝමූස් විවෘත කරන ලෙස තර්ජනය කරමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා තැබූ කෝපයෙන් සහ ආක්‍රමණශීලීත්වයෙන් පිරුණු සමාජ මාධ්‍ය සටහනට ඉරාන රාජ්‍ය තාන්ත්‍රිකයින් හාස්‍යයෙන් යුතුව ප්‍රතිචාර දක්වා තිබෙනවා. සිම්බාබ්වේ පිහිටි ඉරන තානාපති කාර්යාලය X සටහනකින් ට්‍රම්ප්ට ප්‍රතිචාර දක්වා තිබුණේ ” යතුරු නැති වී ඇත” යනුවෙන්.

මෙවැනි ප්‍රකාශ මගින් ඉරානය හිතාමතාම ට්‍රම්ප්ගේ කෝපය සමච්චලයට ලක්කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙනවා.

ඉරානයට එරෙහි එක්සත් ජනපද ඊශ්‍රායල් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සටන් විරාමයක් ඇති කරගැනීමට අතරමැදි පාර්ශ්ව උත්සාහ කරමින් සිටියදීම අද අලුයම එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි ප්‍රධානී, මේජර් ජෙනරාල් මජිඩ් කදීමි ඝාතනයට ලක් වී තිබුණා.
මේජර් ජෙනරාල් මජිඩ් කදීමිගේ මරණය ඉරානය ද පිළිගෙන තිබෙනවා.
ඒ් සමගම ඊයේ රාත්‍රිය පුරා ඉරානයේ ටෙහෙරාන් ඇතුළු නගර 12කට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාර අතර තුර ඉරනයේ ෂරීෆ් තාක්ෂණ විශ්වවිද්‍යාලයට ද හානි සිදුව ඇතැයි වාර්තා වනවා.
ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය අද දවස තුළ ඊශ්‍රායලයේ හයිෆා ඇතුළ ප්‍රදේශ ඉලක්ක කර තෙවරක් ගුවන් ප්‍රහාර එල්ල කර තිබුණා.
ඊශ්‍රායලයේ හයිෆාහි පිහිටි නේවාසික ගොඩනැගිල්ලකට ඉරානය ඊයේ රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරයයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු අතුරුදහන් ව තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරාහි පිහිටි ඩූ විදුලි සංදේශ සමාගමට අයත් ගොඩනැගිල්ලක් ඉලක්ක කර ඉරාන ඩ්‍රෝන යානයක් ප්‍රහාරයක් අද එල්ල වී තිබුණා.
ඒ් සමගම ඉරාකයේ ක්‍රියාත්මක ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමක්, කුවේට්, ජෝර්දානය සහ සිරියාවේ ඇමරිකානු කඳවුරු වෙත ඩ්‍රෝන යානා දියත් කරන ආකාරය දැක්වෙන් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

Share